ඒ, අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනා මත සපුගස්කන්ද පොලිසිය මගිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඊයේ (දෙසැම්බර් 11) දින ඔහු ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙනි. පොලීසිය පැවසුවේ අදාළ අනතුර සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී සිදුව ඇති බවය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිළිඳියක් සහ 55 හැවිරිදි මිත්තනියක් තුවාල ලබා රෝහල්ගත කර තිබුණි. අනතුරින් තුවාල ලැබූ බිළිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග රෝහල්ගතව ප්‍රතිකාර ලබන කාලයෙන් පසුව සිදු කිරීමට නියමිතය.
බීමත් නොසිටි බව රජයේ මාධ්‍ය කියයි
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල බීමතින් සිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිර ගියද, ඒ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී මන්ත්‍රීවරයා බීමතින් සිට නොමැති බවට අනාවරණය වී ඇතැයි රජයේ මාධ්‍ය වාර්තා කර තිබේ.
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා - පොලිසියෙන් සහතිකයක්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධියේදී තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි.
සිද්ධිය සහ හානි
පෙර දින රාත්‍රී 7:45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, එය ජීප් රථයක්, ඇල්ටෝ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකි. මෙම අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ 72 සහ 73 වාට්ටුවල ප්‍රතිකාර ලබන අතර, අනතුරට පත් මාස 06ක් වයසැති බිළිඳියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාළ වාහන තුනම මේ වන විට සපුගස්කන්ද පොලිස් භාරයට ගෙන ඇත.
බීමත්ව සිටියද නැද්ද යන්න තවම තහවුරු කර නැහැ -
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීම සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබේ. හිටපු කථානායකවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු රෝගාතුරව සිටීම සහ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අනතුර වූ වහාම ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. කෙසේ වෙතත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම ප්‍රකාශ සහ වෛද්‍ය වාර්තා අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ‘නීතිය සැමට එක සමානයි. තනතුර, පදවිය හෝ තරාතිරම හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නැහැ. මෝටර් රථ වාහන පනත උල්ලංඝනය කරමින් යම් වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා,’ යනුවෙනි.




