අරගලයේ නිරතව සිටියදී මියගොස් ඇති බව පෙන්වා දෙන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් කිසිදු රටක් තමන්ගේ සරණට නාවේ ඇයිදැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.
“තම දරු මුණුබුරන්, ස්වාමිපුරුෂයන් සහ නෑදෑයන් සොයමින් සිටින දෙමාපියන් සහ ඥාතීන් 500 කට ආසන්න පිරිසක් පිළිතුරු හෝ යුක්තිය හෝ නොලබාම මිය ගොස් ඇත. මෙම සංඛ්‍යාව මෑතදී හටගත් සුළි කුණාටුව (දිට්වා) නිසා ඇති වූ මරණ සංඛ්‍යාවට ළඟා වේ. එහෙත් අපගේ මරණ වෙනුවෙන් කිසිදු රටක් ශෝක නොවූ අතර කිසිදු රටක් උදව් කිරීමට ඉදිරිපත් වුනේ නැත. ජාත්‍යන්තර ප්‍රජාව මෙම අඛණ්ඩ ඛේදවාචකය හඳුනා ගැනීමට අසමත්ව සිටින්නේ ඇයි?”
ජගත් මානව හිමිකම් දිනයේදී එජා මානව හිමිකම් කොමසාරිස්ට ලියන ලිපියකින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්ද නඩරාජා අවධාරණය කර ඇත්තේ ජාතික ජන බලවේග රජය බලයට පත් වී වසරක් ගතව ඇතත් යුක්තිය ඉටු වන බවට තවමත් කිසිදු ඇඟවීමක් නොමැති බවයි.
“ශ්‍රී ලංකාවේ මෑත සිදුවූ ආණ්ඩු වෙනසත් සමඟ, සහනදායක ප්‍රවේශයක් සලකා බලන ජාතීන්ට අප සිහිපත් කර දෙන්නේ මෙම රජය බලයට පත් වී දැනටමත් වසරක් ගත වී ඇතත්, යුක්තිය ඉටු වන බවට තවමත් කිසිදු ඇඟවීමක් නොමැති බවයි. දැනටමත් කඩා වැටී ඇති රටේ ආර්ථිකයට “දිට්වා” සුළි කුණාටුවෙන් තවදුරටත් හානි සිදුවී ඇත.”
මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන් ජගත් මානව හිමිකම් දිනය යෙදී තිබු දෙසැම්බර් 10 වැනිදා අම්පාර තිරුක්කෝවිල් පොදු වෙළද සංකිර්ණය ඉදිරිපිට දී විරෝධතාවයක් දියත් කරමින් අවධාරණය කර තිබුනේ දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද බරපතල අසාධාරණකම් සඳහා වගඋත්තරදායකත්වය සිදුවිය යුත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේම බවයි.
“ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීම සඳහා වාර්ගික වෛරය මෙවලමක් ලෙස භාවිතා කරන දේශපාලන පක්ෂ පවතින තාක් කල්, කිසිදු පක්ෂයක කිසිදු ජනාධිපතිවරයකුට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාවක් හෝ හැකියාවක් නොමැති වනු ඇත. එබැවින්, අපට එරෙහිව සිදු කරන ලද බරපතල අසාධාරණකම් සඳහා වගඋත්තරදායකත්වය සිදුවිය යුත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේය. එය වහාම සිදුවිය යුත්තකි.”
එබැවින් ජාත්‍යන්තර පරිමානයේ අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙස ජගත් මානව හිමිකම් දිනයේදී එජා මානව හිමිකම් කොමසාරිස්ට ලියන ලිපියකින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
“එමනිසා අපේ දීර්ඝකාලීන ආයාචනය නැවතත් ඉදිරිපත් කරමු: වර්ග සංහාරය, ජාත්‍යන්තර පරිමානයේ ආපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන්න”
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා හවස 6 ට නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවට අනුව දිට්වා සුළි කුනාටුව සමග ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් මෙරට මියගිය සංඛ්‍යාව 640 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයන් 211 දෙනකු තවමත් අතුරුදහන්ය.
රට මුහුණ දුන් ආපදා තත්වය හේතුවෙන්, වෙනත් වසර වල මෙන් මෙවර ජගත් මානව හිමිකම් දිනයේදී යුක්තිය ඉල්ලා දියත් කෙරන විරෝධතා දැක ගත නොහැකි වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.





