දෙරටට ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් ප්‍රධාන කරුණක් වූයේ, ශ්‍රී ලංකාව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ‘ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය’ යි.
මෙම ප්‍රතිපත්තිය යටතේ, උසස් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය (IT), කෘතීම බුද්ධිය (AI) සහ ඩිජිටල්කරණය (Digitalization) වැනි නවීන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කරගැනීමට ඇති අවස්ථා පිළිබඳව සොයා බැලුණු අතර, ශ්‍රී ලංකාවට ඇමරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු විය.
අදහස් දැක්වූ ඇමරිකානු තානාපති ජුලී චංග් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් ඇමරිකානු වෙළඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බවයි.
එමෙන්ම, දෙරට අතර තාක්ෂණික සහ විද්‍යාත්මක සබඳතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ඇමරිකානු තානාපති කාර්යාලය සූදානම් බවද චංග් මෙහිදී ප්‍රකාශ කළාය.
- ජනාධිපති මාධ්‍ය අංශය





