සාක්ෂිදීම සඳහා ශාරීරික ලෙස අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව පවසන හිටපු ජනාධිපතිවරයකුට ඊට හේතු දක්වන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එම හේතු දැක්වීම දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂට ජගත් මානව හිමිකම් දිනයේ දී යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලලිත් කුමාර වීරරාජු සහ කුගන් මුරුගනාදන් 2011 වසරේ දෙසැම්බර් මස 9 දා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.
ලලිත් කුමාර වීරරාජු සහ කුගන් මුරුගනාදන් 2011 වසරේ දෙසැම්බර් මස 9 දා පැහැරගෙන ගොස් අතුරුදහන් කරන සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ ජීවිත තර්ජනයක් ඇති හෙයින් සිය සේවාදායකයාට විද්‍යුත් මාධ්‍ය හරහා අධිකරණය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීමට පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විරෝධය පළ කළ බවයි.
"ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවයෙන් කරපු ඉල්ලීම තමයි යාපනය ප්‍රදේශයට පැමිනිලා සාක්ෂි ලබා දීම සදහා ඔහුට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් තියනවා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තියනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය හරහා ඔහුට සාක්ෂි දීම සදහා අවස්ථාව දෙන්න කියලා. එතනදී පෙත්සම් කරුවන් වෙනුවෙන් අපි ඒ සදහා විරෝධය දැක්කුවා. අපගේ මුලික ඉල්ලීම වුයේ ඔහු නීතියට උඩින් නෙමෙයි සිටින්නේ. ඒ නිසා පැහැදිලිවම ඔහු පුද්ගලිකව පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දිය යුතුයි කියන කාරණය."
හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයකුද වන ගෝඨාභය රාජපක්ෂට, සත්‍ය වශයෙන්ම ආරක්ෂාව පිළිබදව ගැටළුවක් ඇතැයි සනාථ කිරීම සදහා කිසිදු ලේඛනයක් , සාක්ෂියක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.
"මේකී කරුණු පිළිබදව විමසීමට ලක් කරපු ගරු මහේස්ත්‍රාත්තුමා විසින් අද නිශ්චිතව නියෝගයක් කරා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂට සත්‍යවශයෙන්ම, පුද්ගලිකව, භෞතිකව ඇවිල්ලා මෙම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට යම් ආරක්ෂාව පිළිබදව ප්‍රශ්නයක් තිබෙනවානම්, ජීවිතය පිළිබදව ප්‍රශ්නයක් තිබෙනවානම් ඒ ගැන අධිකරණය සෑහිමකට පත් කරන්න, තෘප්තිමත් කරන්න අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන්න කියන කාරණය."
එම ලේඛන 2026 වසරේ පෙබරවාරි 6 වැනිදාට යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් නියෝග කර තිබේ.
"ඒ අනුව අද දින නියෝග කරා පෙබරවාරි 6 වැනිදා වන විට දිවුරුම් ප්‍රකාශයක් මගින් මෙම අධිකරනයේ සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂ කියන සාක්ෂි කරුවාට ඇති බාධාව මොකක්ද? ඇති ජීවිත තර්ජනය මොකක්ද?, ආරක්ෂාවේ ප්‍රශ්නේ මොකක්ද කියන කාරණය පිළිබදව අධිකරණයට එකී දිවුරුම් ප්‍රකාශය මගින්, සාක්ෂි මගින් තහවුරු කරන්න කියන කාරණය."
ඡන්ද ව්‍යාපාරයට නොතිබු තර්ජන
ලලිත් කුමාර වීරරාජු සහ කුගන් මුරුගනාදන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හබයාස් කෝප් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා ද අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත එම වසරේ දී ද නොතීසියක් නිකුත් කර තිබුණි.
එල්ටීටීඊය පරාජය කළ සමයේ තමන් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි බැවින් ආරක්ෂක හේතු මත යාපනය අධිකරණයේ පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් දක්වන ලද කරුණු එවර පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඔහු යාපනයට කැඳවීම අත් හිටුවන නියෝගයක් ඒ සමයෙහි නිකුත් කළාය.
නමුත් උසාවි යාමට නියමිතව තිබුණු දිනයට පසුදා උතුරු නැගෙනහිර සංචාරය කරමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටි ගෝඨාභය රාජපක්ෂ නිරුපද්‍රිතව ආපසු කොළඹට පැමිණියේය.




