The Leader News
BREAKING
Top Ad
පුවත්

මාතෘභූමිය හා පොදු ජනතා ආරක්ෂාවේදී නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය ජනපති අගයයි

T

The Leader Desk

December 14, 2025 • 4:01 PM

මාතෘභූමිය හා පොදු ජනතා ආරක්ෂාවේදී නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය ජනපති  අගයයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන අපේක්ෂාව රාජ්‍ය සතුව තිබෙන බවත්, එම ගෞරවාන්විතභාවය, ඒ වෘත්තීමයභාවය ආරක්ෂා කරාවි ය යන දැඩි විශ්වාසය සහ බලාපොරොත්තුව ද රාජ්‍යයට තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය පැවති අවස්ථාවේ සේනාධිනායකයා ලෙස එයට සහභාගි වෙමිනි.
  • පළමුකොටම ඔබ මෙවැනි ගෞරවණීය, නිර්භිත, විනයානුකූල වෘත්තීමය රැකියාවක් තෝරා ගැනීම පිළිබඳව ඔබගේ දෙමාපියන් විශාල ලෙස ආඩම්බර වෙනවා.
  • මම හිතනවා ඔබ, ඔබගේ දෙමාපියන් ඔබ කෙරෙහි තබන ලද බලාපොරොත්තුව ඉතාමත් සාර්ථක ලෙස ඉටු කරන ලද තරුණ තරුණියන් පිරිසක්.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන අපේක්ෂාව රාජ්‍ය සතුව තිබෙන බවත්, එම ගෞරවාන්විතභාවය, ඒ වෘත්තීමයභාවය ආරක්ෂා කරාවි ය යන දැඩි විශ්වාසය සහ බලාපොරොත්තුව ද රාජ්‍යයට තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ  ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය පැවති අවස්ථාවේ සේනාධිනායකයා ලෙස එයට සහභාගි වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

ඔබ දෙවුර මත විශාල වගකීම් සමුදායක් පැවරි තිබෙනවා

''ඔබ අපේ රටේ ඉතාමත් ගෞරවාන්විත විනයක් තිබෙන නිර්භීත නාවික හමුදාවට එක් වීම පිළිබඳව පළමුව මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වෘත්තිමය ක්ෂේත්‍රයේ ඉතාමත් ජයග්‍රාහී ගමනකට මම ඔබට සුබ පතනවා. මම හිතනවා ඔබ දෙවුර මත විශාල වගකීම් සමුදායක් පැවරි තිබෙනවා.

පළමුකොටම ඔබ මෙවැනි ගෞරවණීය, නිර්භිත, විනයානුකූල වෘත්තීමය රැකියාවක් තෝරා ගැනීම පිළිබඳව ඔබගේ දෙමාපියන් විශාල ලෙස ආඩම්බර වෙනවා. මම හිතනවා ඔබ, ඔබගේ දෙමාපියන් ඔබ කෙරෙහි තබන ලද බලාපොරොත්තුව ඉතාමත් සාර්ථක ලෙස ඉටු කරන ලද තරුණ තරුණියන් පිරිසක්. ඔවුන්ට ඔබ පිළිබඳ තවත් විශාල බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තුව තමයි මේ වෘත්තීය තුළ ගෞරවය, වටිනාකම ආරක්ෂා කර ගනිමින් දෙමාපියන්ට වඩාත් ආඩම්බර විය හැකි දරුවෙක් ලෙස මෙම වෘත්තියේ ඉදිරියට යාමේ බලාපොරොත්තුව. දෙමාපියන්ට වගේම රටක් ලෙස අපිටත් ඔබ පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ රටේ මුහුදු තීරය කිලෝ මීටර් 1340ක් පමණ වෙනවා. අපි දූපත් රාජ්‍යයක්. අපිට, අපේ රට වගේ අට ගුණයකට ආසන්න මුහුදකට හිමිකාරිත්වයක් තිබෙනවා.  ඒ වගේම විසි හත් ගුණයකට ආසන්න  ආරක්ෂාවේ සොයා බැලීම පිළිබද වගකීමක් තිබෙනවා. ඒ නිසා රට ඔබ දෙස බලා සිටිනවා මාතෘ භූමියේ  ආරක්ෂාවේදීත්, පොදු ජනතාවගේ ආරක්ෂාවේදීත් ඔබට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඔබ එම කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන අපේක්ෂාව තිබෙනවා. එම ගෞරවාන්විතභාවය, ඒ වෘත්තීමයභාවය ඔබ ආරක්ෂා කරාවි කියන දැඩි විශ්වාසය සහ බලාපොරොත්තුව අප තුළ තිබෙනවා.

ඔබ සැම අභිමානවත් නාවික හමුදා කීර්තිමත් ඉතිහාසයේ අනාගත නිර්මාණකරුවන්

ඒ වගේම අපේ නාවික හමුදාවට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රට මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඉතා නිර්භිත ලෙස අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන්, පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කැපකිරීම් සිදු කරන ලද නාවික හමුදාවක් අපිට සිටිනවා. ඔබ ප්‍රවිශ්ට වන්නේ එවැනි ගෞරවාන්විත ඉතිහාසයක් හිමි මාතෘ භූමියේ ආරක්ෂාව පිළිබඳ අනුලංඝනීය සේවයක් ඉටු කරන ලද, ජනතාවගේ ආරක්ෂාවේ විශාල පංගුවක් දෝතින් ගන්නා ලද නාවික හමුදාවට. ඒ නිසා එම අභිමානවත් නාවික හමුදා කීර්තිමත් ඉතිහාසයේ අනාගත නිර්මාණකරුවන් බවට පත්වීමේ ප්‍රධාන වගකීම අද ඔබට පැවරෙනවා.

මෙහි සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔබ දෙස බලාගෙන සිටිනවා. ඔවුන් විසින් මහත් ගෞරවයක් සහ අභිමානයක් ලෙස ගොඩනගන ලද මෙම නාවික හමුදාව එම ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් ඔබ අතට පවරාගෙන සුරක්ෂිතව අනාගතය කරා ගෙන යාවි කියන දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ තිබෙනවා. ඒ නිසා ඔබ ඇතුළත් වන්නේ හුදු වෘත්තියකට නොවෙයි. අපේ රට සහ ජනතාව පිළිබඳ විශාල වගකීමක් සහිත වෘත්තියකට.

මේ, රටක් ලෙස අපි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අවධියක්

වර්තමානයේ අපි මුහුණ දී තිබෙන අභියෝග ගණනාවක් තිබෙනවා. ඒ අභියෝග අතර එක් පසෙකින් ආර්ථික තලයේ අභියෝග තිබෙනවා. තව පසෙකින් නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අභියෝගයන් තිබෙනවා. ඒ වගේම සමාජ අපරාධ මැඩලීමේ අභියෝග තිබෙනවා. තව පසෙකින් අපේ රට ආපදාවකට පත් වු විට ඔවුන් මුදා ගැනීමේ සහ සුරක්ෂිත ජීවිතයක් නිර්මාණය කර දීමේ අභියෝග තිබෙනවා. ඒ නිසා රටක් ලෙස අපි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අවධියක්.

විශේෂයෙන් අපි කවුරුත් දන්නවා අපේ රට පසුගිය කාලයේ ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට පත් වුණා. ඔබ, අප, අපේ දෙමාපියන්, ඥාතීන්, මිතුරන් එම ආර්ථික අර්බුදය හේතු කොට ගෙන විශාල ව්‍යසනයකට පත් වුණා. ඇතැම් මිනිසුන් පෝළිම්වල මිය ගියා. ඇතැම් වෘත්තියවේදීන් රට අත්හැර ගියා. ඒ ආර්ථික කඩා වැටීම අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්තවීමට පටන් ගත්තා. නමුත් වර්තමානය අපේ ආර්ථිකය සෙමින් වුවත් ඉතාමත් විධිමත්ව ගොඩනගමින් තිබෙන අවස්ථාවක්.

අපි සියලුදෙනා සතු වගකීම වන්නේ කුමක් ද...?

විශේෂයෙන් 1977න් පසුව අඩුම අයවැය හිඟය මේ 2025 වසරේ වාර්තා කළා. 2006 වසරින් පසුව රජයේ වැඩිම ආදායම් වාර්තාකරන වසර බවට පත්වී තිබෙනවා. ඒ වගේම වැඩිම විදෙස් සංක්‍රාම එන වසර සහ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් කැඳවීමේ වසර බවට පත් කර ගැනීමේ ඉලක්ක අපිට තිබුණා. එවැනි අවස්ථාවක තමයි මේ ගංවතුර සහ කුණාටු හේතුකොට ගෙන මහ ව්‍යසනයකට අපිට මුහුණ දීමට සිදු වුණේ. මේ ව්‍යසනය අපි ස්ථාවරව ක්‍රමිකව ගොඩනගමින් තිබු ආර්ථිකයට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයක් බව අපි තේරුම්ගෙන තිබෙනවා.

නමුත් අපි සතු වගකීම වන්නේ මෙවැනි ඛේදවාචකයක්, අභියෝගයක් හමුවේ පලා යාම හෝ කම්පාවට පත් වී අනේ අපොයි කියා ජීවත්වීම නොවෙයි. අපි සියලුදෙනා සතු වගකීම වන්නේ යළි මේ මාතෘ භුමිය ගොඩනගනවා කියන ස්ථීර අදිටනින් යුතුව කටයුතු කිරිම යි. මා හිතනවා එහි දී  අපේ නාවික හමුදාව විසින් ඉටු කරන ලද කාර්යභාරය සහ පැවරී තිබෙන කාර්යභාරය විශාලයි. මෙම ව්‍යසනයේදී විශාල ජීවිත ප්‍රමාණයක් අපිට අහිමිවීමේ ඉමට පැමිණ තිබුණා. ඒ අවස්ථාවේ අපගේ වීරෝධාර හමුදාවන් විශාල මැදිහත්වීමක් සිදු කළා.

ඔබ ප්‍රවිශ්ට වන්නේ ඉතාමත් ගෞරවාන්විත, විරෝදාර, වෘත්තිමයභාවයෙන් යුත් හමුදාවකට

කලාඔය ආසන්නයේ බස් රථයේ හැට නව දෙනෙකුට ආසන්න පිරිසක් වහලයක් මත සිටියා. ඔවුන් මරණය ද, ජීවිතය ද කියන සටනක නිරතව සිටියා. පැය 18කට වඩා වැඩි කාලයක් මහා ගංවතුරක, මහා සුළි කුණාටුවක් මැද, මහා වර්ෂාවක එම වහලය මත අපේ රටේ පුරවැසියන් මරණයේ බිය ජනක අත්දැකීම් විඳමින් ජීවත් වුණා. එහි දී මා පෞද්ගලිකව දන්නවා එම ජනතාව මුදා ගැනීමේ දී අපේ නාවික හමුදාව කරන ලද කාර්යභාරය අතිශය විශාලයි. පළමුව ඔවුන් මුදා ගැනීම සඳහා ගමන් කළ බෝට්ටුවේ නිලධාරීන් අනතුරකට පත් වූ පසු ඔවුන්ද  වහලය මත ජීවත් වුණා.

සිවිල් පුරවැසියන්ට ජිවත්වීම සඳහා අපේක්ෂාව සහ බලාපොරොත්තු ගෙන දෙමින් ධෛර්යය එකතු කරමින් සිටියා. ඒ වගේම ඔවුන් මුදා ගැනීම සඳහා ත්‍රිකුණාමලයේ සිට ට්‍රක් රථයක හදිසි බෝට්ටු සහ ඒ සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් පාන්දර 3.30ට ආසන්න වෙලාවේ දී තමයි එම ප්‍රදේශයට ගියේ. ඔවුන් තම ජීවිතය පරදුවට තබා ජනතාව මුදා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම චුන්ඩිකුලම්වලදී මෝය කට ආශ්‍රිතව ජනතාව මුදා ගැනීමේ කටයුතුවල නිරතව සිටියදී අපිට එම නිලධාරින් පස් දෙනෙක් අහිමි වුණා.

ඒ නිසා මෑතකාලීන උදාහරණ පමණක් අපිට පෙන්නුම් කරමින් තිබෙනවා ඔබ අද ප්‍රවිශ්ඨ වන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ ගෞරවාන්විතව වෘත්තියකට ද යන්න පිළිබඳව. මේ මොහොතේදීත් නාය යෑමට සහ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල, ඉතාමත් අනතුරුදායක ස්ථානවල අපේ රටේ ජනතාවට යළි ජීවිතය ලබා දීම වෙනුවෙන්, අපේ රටේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන අපේ විරෝධාර නිලධාරීන් සිටිනවා. ඒ නිසා මම ඔබට නැවත නැවත කියන්නේ ඔබ ප්‍රවිශ්ට වන්නේ ඉතාමත් ගෞරවාන්විත විරෝදාර වෘත්තිමයභාවයෙන් යුත් හමුදාවකට කියලා.

තරුණ පරම්පරාව ගිල ගනිමින් තිබෙන මත් ද්‍රව්‍ය ව්‍යසනයෙන් ජාතිය මුදා ගත යුතුයි

අද අපි රටක් ලෙස මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය වන්නේ මත්ද්‍රව්‍ය උවදුර. අපි දූපතක්. අපිට මත්ද්‍රව්‍ය ඒමට තිබෙන්නේ ගුවනින් හෝ මුහුදෙන්. මේ මත්ද්‍රව්‍ය උවදුරින් අපේ රට මුදා ගන්නවා නම් මේ ගුවනින් සහ මුහුදින් අපේ රටට මත්ද්‍රව්‍ය ගලාගෙන ඒම නතර කළ යුතුයි.

අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය ජාලය හුදු මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් නොවන බව. මෙය ඉතා සංවිධානාත්මක අපරාධ කල්ලියක්. ඔවුන් සතුව අවි ආයුධ තිබෙනවා. විශාල මුදල් සම්භාරයක් තිබෙනවා. ජාත්‍යන්තර අපරාධ කල්ලි සහ සහ සම්බන්ධතා තිබෙනවා. ඔවුන්ට කාලයක් ඉතා සමීප දේශපාලන සබඳතා තිබුණා. ඔවුන් අත්පත් කරගෙන තිබු මුදල් බලය විසින් අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල නිලධාරින් මිලදී ගැනීමට සමත් වී තිබෙනවා. එවැනි පැතිරුණු මත්ද්‍රව්‍ය ජාලයක් අපේ රටේ තිබෙනවා. මම හිතනවා එම මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමේදී අපි රජයක් ලෙස, පොලිසිය, ත්‍රිවිධ හමුදාව විශාල කැපවීමකින් කටයුතු කරනවා. අපි රාජ්‍යයක් ලෙස තීරණයක් ගෙන තිබෙනවා අපේ තරුණ පරම්පරාව ගිල ගනිමින් තිබෙන මේ ව්‍යසනයෙන් අපේ ජාතිය මුදා ගන්නා බවට.

හැබැයි මට ඒ ප්‍රකාශය කළ හැකි වන්නේ කුමක් නිසා ද, මා ඔබ කෙරෙහි තබන විශ්වාසය නිසා. ඔබ තමයි මුහුද ආරක්ෂා කර දෙන්නේ. ඔබ තමයි මුහුදෙන් ගොඩ බිමට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ. මම දන්නවා මෑත කාලයේ අපේ නාවික හමුදාපතිතුමාගේ නායකත්වය යටතේ නිලධාරින් සියලුදෙනා ඒකාබද්ධව විශාල මෙහෙයුම් ගණනාවක් සිදු කළා. මෑත ඉතිහාසයේ එක දිගට මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එහෙත් තවම අවසන් නැහැ.

ඒ නිසා මේ මත්ද්‍රව්‍ය උවදුර, මේ වසංගතය අවසන් කළ යුතුයි. අපේ ජාතිය ඉන් මුදා ගතයුතුයි. දේශපාලන අධිකාරිය ලෙස අපි ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට සූදානම්. එහිදී විශේෂයෙන් ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි ඔබ එක්ව අපේ මාතෘභූමිය මේ ව්‍යසනයෙන් මුදා ගනිමු. ඒ සඳහා අපි ඔබේ දායකත්වය අපේක්ෂා කරනවා.

කිසිදු වෘත්තියක්, කිසිදු වගකීමක් දෙවැනි කොට නොසැලකිය යුතු යි

අපිට වෙන් වෙන්ව වගකීම් තිබෙනවා. මා ජනාධිපතිවරයා ලෙස මට පැවරුණු වගකීමක් තිබෙනවා. අපේ නාවික හමුදාපතිතුමාට එතුමාගේ ධූරය අනුව වගකීමක් තිබෙනවා. ඔබට ඔබේ ධූරය අනුව වගකීමක් තිබෙනවා. අප අතර තිබෙන වෙනස වන්නේ අපි එකිනෙකා උර දී සිටින වගකීමක්වල වෙනස්කමයි. ඒ සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අපිට අවශ්‍යයි. රටකට ඉදිරියට යා හැක්කේ හැම දෙනාම තමන් වෙත පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කිරීමෙන් පමණයි. ඒ නිසා කිසිදු වෘත්තියක් කිසිදු වගකීමක් අපි දෙවැනි කොට සැලකිය යුතු නැහැ. සෑම වගකීමක්ම අපේ රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක්. ඒ නිසා ඒ වගකීම්වල බර සහ ස්වභාවය වෙනස් විය හැකියි. හැබැයි අපි සියලුදෙනා එකිනෙකා මත පැවරී තිබෙන වගකීමක් දෙවුර මත දරා සිටිනවා. අපි සියලුදෙනා එක්ව අපේ දෙවුර මත පැවරී තිබෙන වගකීම් නිසි පරිදි ඉටු කරමු. ඔබගේ දෙවුර මත අද දින සිට පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කරන නවක නිලධාරියෙකු බවට පත්වන ලෙස ආරාධනා කරමින් ජයග්‍රාහීය වෘත්තීය ජීවිතයක් වෙනුවෙන් මම ඔබට සුබ පතනවා...!''

සටහන - ජයසිරි අලවත්ත 

 

 fdye5634

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාතෘභූමිය හා පොදු ජනතා ආරක්ෂාවේදී නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය ජනපති අගයයි | The Leader