කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද (15) පැවසීය.
දූෂණය නැමැති වරද සිදු කළේ යැයි සැකපිට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළේය.
සභාපති ධම්මික රණතුංග පළමු සැකකරු ලෙසත්, දෙවැනි සැකකරු ලෙස අර්ජුන රනතුංග නම් කරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටියේය.
අර්ජුන රණතුංග විදේශගතව ඇති බැවින් අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් දන්වා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශනයන්ට සහාය දක්වන සිය සේවා දායකයා ඇප පනත ප්‍රකාරව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කළේය. සැකකරු ද්ත්ව පුරවැසියකු බැවින් විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
රජයට රුපියල් මිලියන 800 ක පාඩුවක්
2017 - 1018 වර්ෂ සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීම තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් කිරීමේ දුෂණ චෝදනාව මත ධම්මික රණතුංග අද පෙරුවරුවේ අත්අඩංගුවට ගැණුනි.
2017 වසරේ ජුලි මස 27 වන දා දිගුකාලීන ටෙන්ඩර් පදනම යටතේ චයිනා පෙට්‍රෝ සමාගම වෙතින් දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් මගින් ඉන්ධන මිලදී ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර අමාත්‍ය මණ්ඩලයට යැවීමට සූදානම් කර තිබූ බව ඇය සඳහන් කළාය.
එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ මෙම සැකකරු එම දිගුකාලීන ටෙන්ඩර් තුන යටතේ ඉන්ධන මිලදී ගැනීම අවදානම් බවත් ඒ අනුව එම ටෙන්ඩර් කැඳවීම අවලංගු කරන ලෙස ප්‍රකාශ කර ඇතැයි සහකාර අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මෙම සැකකරු විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් මෙම කාරණය සම්බන්ධයෙන් තමන්ට තීරණයක් දිය නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි කී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය එම තීරණයට ප්‍රතිවිරුද්ධ තීරණයක් ලබා දෙන ලෙස මෙම සැකකරු එම කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදු කර තිබෙන බවත් සඳහන් කළාය.
සැකකරුගේ එම ක්‍රියා කලාපය පිළිබඳව අදාළ කමිටුවේ සාමාජිකයින් මේ වනවිට අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.
ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින්ද මෙම කෙටි කාලීන මිලදී ගැනීම් නුසුදුසු බව සඳහන් කර ඇති අතර ඒ අනුව දිගු කාලීන ටෙන්ඩර් යටතේ ඉන්ධන මිලදී ගැනීම සුදුසු බවට තීන්දු කළ බවත් ඇය සඳහන් කළාය.
එවක ජනාධිපතිවරයාද දිගුකාලීන ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් සුදුසු බවට මත පළ කර තිබූ බවත් ඇය සඳහන් කර සිටියාය.
ඉන්පසුව දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් චයිනා පෙට්‍රෝ සමාගමට ඉදිරිපත් කළ ද ලංසු කාලය අවසන් වීම නිසා එම සමාගම ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය ඉන් පසුව රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථානිය ටෙන්ඩර් 27 ක් යටතේ ඉන්ධන මිලදී ගැනිමට සිදුවූ බවත් කියා සිටියා ය.
සැකකරුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් රජයට රුපියල් මිලියන 800 ක පමණ පාඩුවක් සිදුවූ බවත් ඇය සඳහන් කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බැවින් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. මෙම සැකකරු සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරුට අල්ලස් කොමිසම විසින් පැන වූ විදේශ ගමන් තහනමට විරුද්ධව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එම පෙත්සම මේ වන විට විභාගයට ගැනීමට අවසර දී තිබෙන බවත් සඳහන් කර සිටියේ ය.
කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙම ආකාරයෙන් ඒක පාක්ෂිකව විදේශ ගමන් තහනම් පැනවීමට අල්ලස් කොමිසම ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් තම සේවා දායකයා විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇපමත මුදා හැරීමට නියම කළ අතර මෙම නඩුකරය යළි මාර්තු මස 13 වන දා කැඳවන ලෙසත් නියම කළේය.




