ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. එම රෝහල වෙත Patient Monitor 5ක් සහ Syringe Pump 2ක් ලබා දුන්නේ ය.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා...
ජනතාව ගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය වෙලා
මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු යි. පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වෙලා. මේ මොහොත වන විට මේ ආපදාවෙන් පසුව විපතට පත් ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවනෝපාය කඩා වැටිල, ජීවිත විනාශ වෙලා, උන්හිටිතැන් අහිමි වෙලා. සමස්ත ජන ජිවිතයම විනාශ වෙලා. කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා බරපතළ ව්‍යසනයකට පත්වෙලා ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක්. එබැවින් මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ තුළ වෙනසක් සිදුවිය යුතු යි. අයහපත් කාලගුණ තත්ත්ව නිවැරදිව වාර්තාකරණය කරන තැන සිට කාර්යක්ෂම පෙර සූදානමක් සිදුවිය යුතු යි. රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් උපකරණ, නවීන තාක්ෂණයේ උපකරණ තවමත් අපේ රටට නැහැ. සුනාමිය නිසා දසදහස් ගණනින් ජීවිත අහිමි වී ඇති මොහොතක මේ විනාශය ගැනත් පෙර දැනුම් දීම් සති 2ක් පුරා සිදුවන විටත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ඊට වගකිවයුත්තන් බලා ගෙන සිටීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය වී ජීවත් වීමේ අයිතිය අහිමි වුණා.
කතා සාප්පුවකට පමණක් සීමා වී ඇති ආපදා යාන්ත්‍රණය වෙනස් කරන්න
මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට නොගිය හොත් අද වර්තමානයේ දිනෙන් දින වර්ධනය වන ස්වාභාවික පරිහානියන් පරිසර පද්ධතියේ හානි කාලගුණික දේශගුණික විපර්යාස තුළ මුහුණ දෙන ඇති අභියෝගවලට මුහුණ දිය නොහැකිව තවත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවන අවදානමක් ඇති නිසා යල්පැනගිය යුගයට ඔබින්නේ නැති කතා සාප්පුවකට පමණක් සීමා වී ඇති ආපදා යාන්ත්‍රණය වෙනස් කර ව්‍යවසන කළමනාකරණ පනත ද වෙනස් විය යුතු යි. මේ ස්වාභාවික අභියෝගවලට මුහුණ දිය හැකි නව පනත් හා ආයතන පද්ධතියක් ස්ථාපිත කළ යුතු යි.
කඩිනමින් වැඩ කිරීම රජයේ යුතුකමක්
අනාවැකි කීම, පෙර සූදානම, කාලගුණ දේශගුණ තත්ත්ව ගැන ජනතාව සන්නිවේදනය ගැන පැහැදිලි වෙනසක් ඇති කළ යුතු යි. මේ ක්‍රමය ගැන රටේ ජනතාවගේ විශ්වාසය නැති නිසා ජනතාවට ලබා දිය යුතු සහන කඩිනමින් ලබා දිය යුතු යි. සහන ලබා නොදෙන්න හේතු දක්වනවා වෙනුවට කඩිනමින් විපතට පත් ජනතාවට සහන දිය යුතු යි. ව්‍යාපාර ක්ෂේත්‍රය, කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අද විනාශ වෙලා. ඉල්ලුම් හා සැපයුම් දාම කැඩී ගොස් ඇති මොහොතක කඩිනම් විසදුම් හා සහන අවශ්‍ය යි. මේ අවස්ථාවේ කඩිනමින් වැඩ කිරීම රජයේ යුතුකමක්.
රෝහල් පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා
එසේ ම විපක්ෂය ද මේ අවස්ථාවේ ප්‍රේක්ෂකයන් නොවී ජනතාව වෙනුවෙන් සේවය කරනවා. සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. ආපදාවලින් පසුව ඇතිවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරිමට නම් රෝහල් පද්ධතිය ශක්තිමත් විය යුතු නිසා මේ අවස්ථාවේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් ඇති නිසා මේ අවස්ථාවේ හොදම දේ වන්නේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම නිසාත් සමගි ජන බලවේගය විසින් ඒ වගකීම කරට ගෙන හුස්ම වැඩසටහන යටතේ විපතට පත් ප්‍රදේශවල රෝහල් පද්ධතිය ගොඩනගනවා.''






