The Leader News
BREAKING
Top Ad
පුවත්

මේ තරම් ආපදාවක් සිදු වෙන්න ප්‍රතිපත්තියමය දුර්වලතා බලපැවා - වෛද්‍ය ගිෂාන්ත දසනායක

T

The Leader Desk

December 17, 2025 • 5:33 PM

මේ තරම් ආපදාවක් සිදු වෙන්න ප්‍රතිපත්තියමය දුර්වලතා බලපැවා - වෛද්‍ය ගිෂාන්ත දසනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විධිමත් සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීම, යටිතල පහසුකම්වල අසාර්ථකත්වය සහ ප්‍රතිපත්තියමය දුර්වලතා හේතුවෙන් යැයි ජනතා වෘත්තික මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ "දිට්වා ව්‍යසනයේ පාඩම් සහ අභියෝග" යන තේමාවෙන් 'ජනතා වෘත්තික මධ්‍යස්ථානය' විසින් සංවිධානය කරන ලද, දෙසැම්බර් 16 දින කොළඹ ජාතික පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සම්මන්ත්‍රණයේ දී ය.
  • ඒ වගේ ම ධීවර ක්ෂේත්‍රයට බරපතළ බාධාවක් ඇති වුණා.
  • මේ රටේ තියනවා 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතක්.
අකුරු ප්‍රමාණය (Font Size):

විධිමත් සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීම, යටිතල පහසුකම්වල අසාර්ථකත්වය සහ ප්‍රතිපත්තියමය දුර්වලතා හේතුවෙන් යැයි ජනතා වෘත්තික මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ "දිට්වා ව්‍යසනයේ පාඩම් සහ අභියෝග" යන තේමාවෙන් 'ජනතා වෘත්තික මධ්‍යස්ථානය' විසින් සංවිධානය කරන ලද, දෙසැම්බර් 16  දින කොළඹ ජාතික පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සම්මන්ත්‍රණයේ දී ය.

එම සම්මන්ත්‍රනයේ දී: හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල්, හිටපු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය කිත්සිරි දිසානායක, හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු භද්‍රා කමලදාස සහ වෛද්‍ය ගිෂාන්ත දසනායක අදහස් දැක්වූහ. සභාව මෙහෙයවන ලද්දේ හිටපු අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ගාමිණී සිසිර කුමාර විසිනි.

xfyr535656| වෛද්‍ය ගිෂාන්ත දසනායක
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගිෂාන්ත දසනායක...

වැඩි ම බලපෑම සාමාන්‍ය ජනතාවට

 "අපි ජනතා වෘත්තික මධ්‍යස්ථානය විදිහට මෙවැනි කටයුත්තක් කරන්න හිතුවෙම විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා. දිට්වා සුළි කුණාටුව කියලා කියන්නේ අපි බලාපොරොත්තු නොවුණු විදිහේ හදිසි ආපදා තත්වයක්. මේ විනාශකාරී ව්‍යසනය නිසා මේ රටේ ජන ජීවිතයට විශාල තර්ජනයකට සහ බලපෑමකට මුහුණ දෙන්න සිදුවුණා. භූමියේ අස්ථාවරත්වය, දුර්වල ජලාපවහන පද්ධති සහ විධිමත් සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීම, යටිතල පහසුකම්වල අසාර්ථකත්වය, ප්‍රතිපත්තියමය දුර්වලතා වැනි කරුණු තමයි මේ ව්‍යසනයට තදින් බලපෑම් කළේ. 

 
විශේෂයෙන් මේ ව්‍යසනය නිසා අපේ රටේ හෙක්ටයාර් 108,000ක පමණ වගා හානියක් වෙලා තියනවා. මේ නිසා ඉදිරියේ දී එළවළු මිල තවදුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ වගේ ම ධීවර ක්ෂේත්‍රයට බරපතළ බාධාවක් ඇති වුණා. තවත් පැත්තකින් ජනතාව ගෙන් බහුතරයක ගේ රැකියා ඇණහිටීම නිසා දෛනික ආදායම් අහිමි වුණා. මේ රටේ ක්ෂුද්‍ර ජා කුඩා පරිමාණ ව්‍යාපාරවලට තමයි මේ ව්‍යසනයෙන් වැඩිම හානියක් වුණේ. මේවගෙන් අපිට පේනවා දිට්වා සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. ඒ නිසා මේ ආපදාවෙන් පීඩාවට පත්වුන සාමාන්‍ය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ඉක්මනින් මැදිහත් වෙන්න ඕන.

ව්‍යසන කළමනාකරණ පනත ක්‍රියාත්මක නොකිරීම රජය කළ බරපතළ වැරැද්දක්
දැනටමත් මේ ආපදාව කළමනාකරණය සඳහා මේ රටේ ජනතාව තමයි දැවැන්ත මැදිහත් වීමක් කළේ. පුංචි ළමයි තමන් ගෙදර සල්ලි එකතු කරමින් හිටපු කැටය පවා අරගෙන ආවා විපතට පත් වූවන්ට ආධාර කරන්න. ආගම් භේදයක් ජාති භේදයක් නැතුව සියලු ජනතාව එකතුවෙලා විපතට පත් වූවන් ‌ගේ වගකීම අරගෙන මෙච්චර දවසක් ඔවුන් එක්ක හිඳිමින් කටයුතු කළා. මේ සහකම්පනය අපි රටක් විදිහට අගය කරන්න ඕන. දැන් එතනින් එහාට මේ බර අදින වගකීම ගන්න ඕන මේ රටේ ආණ්ඩුව. නමුත් ඒ සඳහා රජය සූදානම් ද කියන ප්‍රශ්නය අපිට මෙහිදී මතු වෙනවා.
 
මේ රටේ තියනවා 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතක්. මේ පනත ලංකාවේ නීතියක් විදිහට සම්මත වෙලා තියෙන්නේ. හැබැයි ජනාධිපතිවරයා දිට්වා ව්‍යසනයේ දී මේ පනතේ බලතල ක්‍රියාත්මක කලේ නැහැ. ඔහු කළේ මහජන ආරක්ෂක පනත පාවිච්චි කරපු එක. ඒ පනත තියෙන්නේ රටේ යම් කලබලයක් ඇති වුණොත් ඒක පාලනය කරන්න සහ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට බලය පවරන්න. ස්වාභාවික ව්‍යසනයකදි ඒ පනත වැඩක් වෙන්නෙ නැහැ. ඒ  නිසා ව්‍යසන කළමනාකරණ  පනත ක්‍රියාත්මක නොකිරීම රජය කරපු බරපතළ වැරද්දක්. දැන්වත් මේ වැරද්ද හඳුනාගෙන හදිසි ආපදාවක් සඳහා ක්‍රියාත්මක විය හැකි ශක්තිමත් ව්‍යුහයක් සකස් කරන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා."
 
xfge46frt| මහාචාර්‍ය කිත්සිරි දසනායක
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය කිත්සිරි දසනායක

ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් නැහැ
"දිට්වා සුළි කුණාටුව දිහා නැවත හැරිලා බැලීමේදී අපි හොයන්න ඕන නැවත මෙවැනි අවදානමක දී ගතයුතු පියවර සම්බන්ධයෙන්. අනිත් වැදගත් කාරණය තමයි අපිට වැරදුණේ කොතන ද කියලා අපි සමාලෝචනය කරගන්න ඕන.  අපිට දැනටමත් දේශීය සහ ජාත්‍යන්තර මට්ටමෙන් ස්වාභාවික ව්‍යසන කළමනාකරණය කිරීමට අදාළව විවිධ ප්‍රතිපත්ති තියනවා. හැබැයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී අපි රටක් විදිහට දුර්වලයි. බරපතළ ම කාරණය තමයි ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් නැහැ. ඒ අඩුව අපි මේ ව්‍යසනයේ දී තදින්ම දැක්කා. උදහරණයක් විදිහට මෙවර ව්‍යසනයේ දී භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයේ මැදිහත් වීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. හැබැයි අපි දන්නවා ලංකාවේ නාය යෑම් ගැන හඳුනා ගැනීමට භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය ඉතාම වැදගත්. 
 
ඊළඟට අපි බලන්න ඕන ප්‍රජාවක් විදිහට අපි ආපදාවක දී ගතයුතු ක්‍රියාමාර්ග ගැන; ඒ ගැන දැනුවත් ද කියන ප්‍රශ්නයත් මෙහි දී අමතක කරන්න බැහැ. අපිට ජනතාවගේ හැසිරීම දිහා බැලුවම පේනවා අපදාවක් සහ එහි අවදානම ගැන ජනතාවට ප්‍රමාණවත් දැනුමක් ලැබිලා නැහැ. අනිත් එක තමයි සන්නිවේදනයේ දුර්වලතාවකුත් අපි මේ ව්‍යසනයේ දි දැක්කා. අවශ්‍ය ප්‍රදේශවල ජනතාවට අවදානම ගැන නිවැරදිව සහ ඉක්මනින් දැනුවත් කිරීමක් වෙලා තිබුණේ නැහැ.

වැඩියෙන් වගකිව යුත්තේ දේශපානලන තන්ත්‍රය යි
ලංකාවේ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් දැන්වත් විධිමත් වැඩපිළිවෙළක් අපිට තවම නෑ. කිසිඳු කළමනාකරණයක් නැතුව සිදුකරපු තෙත් බිම් ගොඩකිරීම්, කඳු ආශ්‍රිත අවිධිමත් විදිහට නිවාස කර්මාන්තශාලා ඉඳිකිරීම වගේ බරපතළ දේවල්වල ප්‍රතිඵල තමයි දැන් අපිට පාරිසරික ව්‍යසන විදිහට අත්දකින්න වෙලා තියෙන්නේ. මේවට වැඩියෙන් වගකියන්න ඕන මේ රටේ දේශපානලන තන්ත්‍රය. තමන්ගේ ඡන්ද පදනම රැකගන්න ඔවුන් තමයි මෙවැනි ඉදිකිරීම්වලට අනුබල දෙන්නේ. දැන් රජයේ යම් කතාබහක් තියනවා මේ ඉදිරීම් නැවැත්වීම සඳහා පියවර ගන්නවා කියලා. හැබැයි රටේ නීති ප්‍රතිපත්ති හැදුනට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදහරණයක් විදිහට අපිට මතකයි 2004 සුනාමි ව්‍යසනය වෙලාවේ වෙරළේ සිට මීටර් 150ක් දක්වා ඉඳිකිරීම් නවත්වන්න තීරණයක් ආවා. හැබැයි අද ගිහින් බැලුවොත් මුහුදු වෙරළවල් පුරාම විවිධ ඉදිකිරීම් දකින්න ලැබෙනවා.

ඇමතිවරයා නොදන්නා පොළොවේ පැළුම්
ඊළඟ කාරණය තමයි දිට්වා වැනි ව්‍යසනයකින් පස්සෙවත් ආපදාවක් සඳහා දීර්ඝකාලීන සැලසුමකට යන්න අපි සූදානම් නැහැ. මං දැක්කා රජයේ සමහර ඇමතිවරු කියනවා පස් දාලා පොළොවේ පැළුම් වහන්න ඕන කියලා කියනවා. ඒ ඇමතිවරයා දන්නේ නැහැ පොළොවේ පැළුම්වලින් පෙන්නුම් කරන්නේ පහළින් භූමිය චලනය වෙනවා සහ ස්තායීතාව අඩුයි කියන එක කියලා. ඒකට පස් දාලා වහනවා වගේ පැලැස්තර විසඳුම් හරියන්නේ නැහැ. නිවැරදි විද්‍යාත්මක විසඳුම් මේවට තියනවා. ඒ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් උපදෙස් අරගෙන දීර්ඝකාලීන විසඳුමකට යනවා වෙනුවට ලෝ බජට්වලින් මේක කළමනාකරණය කිරීමෙන් වෙන්නේ ඉදිරියේ දී මීටත් වඩා බරපතළ අනතුරක් වීමේ අවදානමක් නිර්මාණය වීම විතරයි."
 
xfgr5y56| කාලගුණ විද්‍යාඥ සරත් ප්‍රේමලාල්
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් , කාලගුණ විද්‍යාඥ සරත් ප්‍රේමලාල්

හරියට ම අනතුරු හැඟවීමක් ලැබුණේ නොවැම්බර් 23වෙනි දා
"සමහරු කියනවා දිට්වා සුළි කුණාටුව ආවේ නොවැම්බර් 12 වෙනිදා කියලා. මේ කියන දවසේ අඩු පීඩන කලාපයක් ලංකාව ආශ්‍රිතව වර්ධනය වෙලා තිබුණා. හැබැයි ටික දවසකින් ඒ තත්ත්වය පහවෙලා ගියා. අපිට සුළි කුණාටුවක් ගැන මේ කාලේ මුලින්ම අනතුරු හැඟවීමක් ආවේ 20 වෙනිදා. ඒ සෙන්යා කියන සුළි කුණාටුව ගැන. ඒ කුණාටු තත්ත්වයත් අවදානම් වුණේ නැහැ. හැබැයි ලංකාවට පහළින් මුහුදේ 25 වෙනිදා වෙද්දි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් තියනවා කියලා නොවැම්බර් 23 වෙනිදා තමයි අනතුරු හැඟවීමක් හරියටම ලැබුණේ. ලෝක කාලගුණ විද්‍යා සංගමයයේ නවදිල්ලි ශාඛාවෙන් තමයි මේ අනතුරු හැඟවීම ලැබුණේ. මේ දිට්වා සුළි කුණාටුවේ හැසිරීම සහ වර්ධනය ගැටලුකාරීයි. අපි හිතනවා ලෝකයේ කාලගුණ විද්‍යාඥයින් මේ ගැන ඉස්සරහට පරීක්ෂණ කරයි කියලා.

මේ, දැනට පවත්වාගෙන යන අවිධිමත් සහ අදූරදර්ශී සංවර්ධනයේ ම තවත් අතුරු ප්‍රතිඵලයක්
මේ සුළි කුණාටුව කළමනාකරණය කරගන්න තරම් ප්‍රමාණවත් කාලයක් ඇත්තටම අපිට තිබුණේ නැහැ. නොවැම්බර් මාසේ 20 සහ 29 අතර මුළු ලංකාවට ම එක වගේ සමාන වර්ෂා පතනයක් තමයි ලැබුණේ. මේක ඉතාම අසාමාන්‍ය තත්වයක්. එවැනි අවස්ථාවක් ආවහම ඒක අපිට කළමනාකරණය කරගැනීමට අපහසුයි. දේශගුණ විපර්‍යාස එක්ක දැන් වායුගෝලයේ ජල වාෂ්ප රඳව ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙන්නේ. එහෙම රඳවගන්න ජල වාෂ්ප නැවත පොළොවට මුදාහැරෙනවා. ඒක නිසා මේ ඇතිවෙලා තියන තත්වය අපි ලෝකයක් විදිහට මේ කරගෙන යන අවිධිමත් සහ අදූරදර්ශී සංවර්ධනයේ ම තවත් අතුරු ප්‍රතිඵලයක්. ඒ නිසා ඉදිරියේදිවත් මෙවැනි අවදානම් තත්වයන් මගැහැර ගන්න අපි වහාම සුදුසු පියවර ගන්න ඕන."
 
xfg5654t| වාරි ඉංජිනේරු භද්‍රා කමලදාස්
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, වාරි ඉංජිනේරු, භද්‍රා කමලදාස්

කොළඹ නගරයේ ගංවතුර අවදානම අඩුවෙලා තියෙන්නේ කැලණි ගඟ ආශ්‍රිතව ඉඳිකරපු ගංවතුර පාලන වේල්ල නිසා

"අපි දන්නවා දිට්වා ව්‍යසනය නිසා අපේ රටේ ජල ක්ෂේත්‍රයට විශාල හානියක් වුණා. දැන් ලංකාවේ යම් යම් පැතිවලට ගංවතුර නිසා ඇතිවන තර්ජන ඉහළ ගිහිල්ලා තියනවා. එවැනි තත්වයක් ඇතිවෙන්න හේතු අපි නිවැරදිව හඳුනගන්න ඕන. කොළඹ නගරය දැන් ගංවතුර අවදානම අඩුවෙලා තියෙන්නේ කැලණි ගඟ ආශ්‍රිතව අපි ඉඳිකරලා තියන ගංවතුර පාලන වේල්ල නිසා. අපිට එවැනි කටයුතු තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාව තියනවා. 
 
අනිත් එක තමයි රටේ කාණු පද්ධතිය දැන්වත් විධිමත්ව සැලසුම් කරන්න ඕන. ගංවතුරට සහ වැස්සට ඔරොත්තු දෙන මට්ටමේ කානු පද්ධතියක් රටට අවශ්‍යයි. අනිත් වැදගත්ම දෙයක් තමයි අවදානම් කලාපවලින් පුලුවන් තරම් ජනතාව ඈත් කරලා තියන එක. අපි ව්‍යසනයෙන් පස්සෙවත් අපදා තත්වයක් කළමනාකරණය සඳහා කලින් සැලැසුමක් සකස් කරන්න අවශ්‍යයි. උදහරණයක් විදිහට යම් ජලාශයක වේල්ලක් ගත්තම ඒ වේල්ල යම් අවස්ථාව කඩාගෙන යන අවදානමක් ආවොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාරග මොනවද කියලා කලින් සැලසුම් කරන්න ඕන. අපිට එහෙම සැලසුමක් නොතිබීමත් මේ ව්‍යසනයේ හානිය වැඩි වෙන්න බලපැවා.

ඒ ප්‍රදේශවලින් ජනතාව ඉක්මනින් ඉවත් කළ හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය යි
දැනට අපේ රටේ මෙවැනි අවදානමක් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. මොකද දැනටමත් අපිට හැකියාවක් තියනවා මේ වෙලාවට මෙච්චර මට්ටමකින් මේ ප්‍රදේශයට ගංවතුර එන්න පුළුවන් කියලා මුලින් අනාවැකි ප්‍රකාශ කරන්න. ඒ නිසා මෙතනදි අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රදේශවලින් ජනතාව ඉක්මනින් ඉවත් කළ හැකි වැඩපිළිවෙළක්. මෙතන අඩුව වුනේ අන්න ඒ වැඩපිළිවෙළ නොමැතිකම. 
 
අපි හිතනවා මෙවැනි ව්‍යසන සහ එයින් ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් ජනතාවට පූර්ව දැනුවත් කිරීමක් අවශ්‍යයි. අද වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයේ අය විතරයි මේවා ගැන කතාවෙන්නේ. සාමාන්‍ය ජනතාවට මේ කතා යන්නේ නැහැ. ඒ නිසා දැන්වත් හදිසි ආපදා තත්ත්ව හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම අපි රටක් විදිහට ජනතාවට ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් රජය පැත්තෙන් වෙන්න ඕන."

(සටහන - ජයසිරි අලවත්ත)
 
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...