පසුගිය 18 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඡන්ද 3කින් අයවැය පරාජයට පත් වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57ක්ද, විපක්ෂව ඡන්ද 60ක්ද ලැබී තිබීණි.
කොළඹ මහනගර සභාව සඳහා මීළඟ අයවැය ගෙන ඒමට පෙර විපක්ෂය සමග සාකච්ඡා කරන්නේ නම් ඊට සහයෝගය දීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.
'නෙත් නිවුස්' වෙත අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ දෙපාර්ශ්වයේ පොදු එකඟතාවයකින් අයවැය ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බවයි.
පළාත් පාලන ආයතනවල අයවැය ආණ්ඩුව දිගින් දිගටම පරාජය වන්නේ මන්දැයි ආණ්ඩුව විසින්ම දැන් ප්‍රශ්න කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මෙහිදී පැවසුවේය.
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසන්නේ, ජාතික ජන බලවේගයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජයන් ආණ්ඩුවේ ගමනට කිසිදු බලපෑමක් නොවන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක්වෙමිනි.




