ඇතැමුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු වාහන ආනයනය නවතා ඒ මුදල් ආපදාව වෙනුවෙන් යොදවැන්නැයි පැවසුවත් වාහන ආනයනය කිරීම සහ ආපදා සහන දීමටත් මුදල් පවතින බැවින් වාහන ආනයනය කිසිසේත් ම නතර නොකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන් ම, කවුරු කුමක් කිව්වත් රාජ්‍ය සේවයේ වාහන සංචිතය අලුත් කිරීම ද සිදුකරන බව ජනාධිපතිවරයා පැවසීය.
ඒ සඳහා මේ වසරේ රුපියල් බිලියන 25ක් වැය කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිරීක්‍ෂණයකට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර ඔහු එහිදී අවධාරණය කළේ, කවුරුන් හෝ බදු පැහැර හැරීමක් සිදුකරනවා නම් ඒ කවුද යන්න පිළිබඳව තරාතිරම නොබලා අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ය.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී අඩු පාඩු තිබෙනවා නම් නීතිය බලවත් කිරීමට ද කටයුතු කරන ලෙස ඔහු පැවසීය.
ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.
“සමහරු කිව්වා අප්‍රේල්වල රට වැටෙනවා කියලා. හැබැයි ආර්ථිකයේ සියලු සාධක බැලුවොත් අපනයන, සංචාරක විදෙස් සංක්‍රමණයන්, විදෙස් ආධාර වැඩිම වසර බවට මේ වසර පත්වෙනවා. මේ වසරේ රුපියල් බිලියන 25ක් වැය කරලා තියනවා වාහන අලුත්වැඩියාවට. රාජ්‍ය සේවයේ වාහන සංචිතයේ අලුත් කරනවා කවුරු මොනවා කිව්වත්. වාහන ආනයනය කරන එක අපිට තීරණය කරලා තියනවා. අපි ඒක කරනවා. ඒක නතර කරලා මේ ආපදාවට ඒ සල්ලි දාන්න කිව්වා සමහරු. නෑ එහෙම වෙන්නේ නැහැ. දෙකටම සල්ලි තියනවා. ආදායම් දෙපාර්තමේන්තු හැටියට නීති රෙගුලාසි මත අපිට ලැබිය යුතු සියලු ම බදු මුදල් ලැබෙනවාද කියලා බැලුවොත් තත්ත්වය මොකක්ද? බදු මගහැරුණු විදිහත් අපි දන්නවා. මගහැරපු ඉතිහාසයක් අපි දන්නවා. එක රැයින් බදු සංශෝධනය කරපු ඉතිහාසයක් තියනවා. විගණන වාර්තාවල ඒවා සඳහන් වෙනවා. මේ ඒක නම් අය කවදාවත් වෙන්නේ නෑ මතක තියාගන්න. කවුරු හරි පුද්ගලයෙක්, ක්ෂේත්‍රයක් ඉලක්ක කරලා තම ඥාති සබඳකම් දේශපාලන බැඳීම් මත බදු සංශෝධනය කරන්නේ නැහැ. එකට පොර බදිමු. නීති මදි නම් කියන්න නීති බලවත් කරමු.”
( mawbima | Anuradha Herath)




