භාෂා ඉගෙනීම සඳහා භාවිතා කරන මුද්‍රිත පාසල් ද්‍රව්‍යවලට එය ඇතුළත් කිරීම පිළිබඳ සමාජය තුළ දැඩි කතාබහකට ලක්වීමෙන් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් හරහා වෙබ් අඩවියට ප්‍රවේශ වීම සීමා කර තිබේ.
වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම පාසල් දරුවන්ට බරපතල අවදානමක් ඇති කරන බවට චෝදනා කරන හිටපු අමාත්‍ය විමල් වීරවංශ, මෙම සිද්ධිය හමුවේ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවට අවධාරණය කර සිටියි.
මෙය රට හා අනාගත ජාතිය විනාශ කිරීමට කළ කුමන්ත්‍රණයක් බවට චෝදනා කරන උලපනේ සුමංගල හිමියන්, කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කළේ ය.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එය තහවුරුවීමෙන් පසුව වහාම නිවැරදි කිරීමේ පියවර ගත් බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අනාගත විෂයමාලා ප්‍රතිසංස්කරණවලදී මෙවැනි අඩුපාඩු සිදුවීම වළක්වා ගැනීමට පියවර හඳුන්වා දෙන බවත් එම අමාත්‍යංශයේ බලධාරීන් පවසා සිටියි.
ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.
English Language First Term Module Grade 6 පොතෙහි මෙලෙස එක් ක්‍රියාකාරකමක ස්ථාන කිහිපයක එලෙස සමලිංගික වෙබ් අඩවියේ නම සඳහන්ව ඇති බව එම පිටුවෙහි රූප සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
අමාත්‍යංශ ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්
නව අධ්‍යාපන ප්‍රතිංස්කරණය යටතේ නිකුත් කර තිබෙන English Language First Term Module Grade 6 මොඩියුලයේ, සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නාමයක් සඳහන් වීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව දෙසැම්බර් 31 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනාවල දිගුවක් ලෙස කුමන්ත්‍රණකාරී ලෙසින් වෙබ් අඩවිය මොඩියුල තුළට ඇතුළත් කළා දැයි සොයා බලන ලෙස සිය පැමිණිල්ල හරහා ඉදිරිපත් කළ බව ලේකම්වරයා මාධ්‍ය වෙත කියා සිටියේ ය.
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පහුගිය කාලය පුරාවට ම පදනම් විරහිත චෝදනා විවිධ පාර්ශවයන් එල්ල කළා. එතකොට අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය, මේ ඇතුළු කිරීම, මේ නුසුදුසු වෙබ් අඩවියක වචනයක් නැත්නම් හැඳින්වීමක් සිදුකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එල්ල වන චෝදනාව සනාථ කිරීම වෙනුවෙන් යම්කිසි පාර්ශවයක් කුමන්ත්‍රණකාරි ලෙස කරපු දෙයක් ද කියන සැකය අපිට තියෙනවා."
අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බව නාලක කළුවැව වැඩි දුරටත් පැවසීය.




