එම යෝජනාවට අනුව ලබන වසරේ මුල් මාස තුන ඇතුළත සමස්ත විදුලි ගාස්තුව සියයට 11.57 ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.
2026 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161කි.
ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.
වර්තමාන ජාතික ජන බලවේග රජය බලයට පැමිණීමට පෙර විදුලි ගාස්තු ඉහල දැමීම සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ පක්ෂයකි.
කෙසේ වෙතත්, ඔවුන් බලයට පැමිණීමෙන් පසුව 2025 වසරේ මුල් කාර්තුව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටි අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් 2025 ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල කඩිනමින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කරන ලද පසුබිමක ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
ඉන්පසුව 2025 මැයි මාසයේදී 2025 පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබූ අතර, ජූනි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට ප්‍රකාශයට පත් කළේ ය.
ඒ, 2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ය.
තත්ත්වය එසේ තිබියදී ලංකා විදුලි බල මණ්ඩලය නැවත වරක් 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටි අතර, වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම ඔක්තෝබර් මාසයේදී තීරණය කළේ ය.
2026 පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ එවන් පසුබිමක ය.
පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල වන රු. මිලියන 11,500කට ආසන්න මුදලක් ද විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම ද එම ගාස්තු වැඩි කිරීමට එක් හේතුවකි.
මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ කුමක් ද?
බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසා ඇත්තේ, විදුලි සේවක වන්දි මුදල් ද ගාස්තු එකතු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ය.
එම යෝජනාවලිය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත්, ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු පවසයි.
"11.57%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාවලිය මේ වන විට අපට ලැබිලා තියෙනවා. අපි දැන් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යනවා. ඒ අධ්‍යයන කටයුතුවලින් පසුව ඒ පිළිබඳ අපේ වාර්තාවක් සකස් කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරලා මහජන අදහස් කැඳවීම සිදු කරලා ඒවාත් සැලකිල්ලට අරගෙන, පනතේ වගන්ති ප්‍රකාරව ගාස්තු සම්බන්ධ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත යි."




