ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් හා කෝනේශ්වරම් හින්දු විද්‍යාලයේ සිසුන් වූ මනෝහරන් රජීහර්, යෝගරාජා හේමචන්ද්‍රන්, ශන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන් සහ තංගතුරෙයි සිවානන්දා 2006 වසරේ ජනවාරි 02 වැනිදා ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව අසල මුහුදු වෙරළ ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
යෝගනාදන් පුනන්ගුලාලන් සහ පරරාජසිංහම් ගොකුල්රාජ් දෙදෙනා වෙඩි ප්‍රහාරයන්ට ලක් වුවද දිවි බේරා ගැනීමට සමත් වූහ.
සිසු ඝාතනයට විසි වසරක් සපිරෙන 2026 ජනවාරි 2 වැනි සිකුරාදා , මළහිරු බැසයන යාමයේ ත්‍රිකුණාමලය ගාන්ධි පිළිරූ වටරවුමට එක්වූ ඝාතනයට ලක් වු සිසුන්ගේ දෙමාපියන් හා ඥාතීන්, ඔවුන්ගේ ඡායාරූප ඉදිරියේ මල් තබා, පහන් දල්වා අනුස්මරණය සිදු කර තිබේ.

මෙම සිසු ඝාතනයට ආරක්ෂක අංශවල සබඳතාවක් නොමැති බවට මුලින්ම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කියා සිටිය ද, සුඩර් ඔලි මාධ්‍යවේදී සුගිර්දරාජන් සුබ්‍රමානියම් විසින් ලබා ගත් මරා දැමුණු සිසුන්ගේ සමීප ඡායාරුප මගින් සනාථ වුයේ මොවුන් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීමකින් බවය.
ඊට සති දෙකකට පසු සුගිර්දරාජන් මාධ්‍යවේදියා ද වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය පිහිටි අධි ආරක්‍ෂක කලාපයක් තුලය.
සිසු ඝාතනයට එරෙහිව දෙමාපියන් විසින් අධිකරණය වෙත යාමත් සමගින්, රජයේ ආරක්ෂක හමුදා භටයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යාමෙන් ආරක්‍ෂක හමුදාවන්ගේ ධෛර්යය බිඳ හෙළීමට හේතුවන බව පවසමින් පළමු රාජපක්ෂ පාලනය බලයට ගෙනඒමට වෙහෙසුණු ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදී කණ්ඩායම් සමඟ එක්ව එවක උද්ඝෝෂණ පැවැත්වීය. තවදුරටත් ජාතිවාදයට ඉඩ නොතබන බව දැනට ආණ්ඩු බලයේ සිටින ජාතික ජන බලවේගයට ප්‍රමුඛත්වය උසුලන එම පක්ෂයේ නායකයාද වන ජනාධිපතිවරයා කිහිපවර පවසා තිබේ.

එසේ වෙතත්, ‘කඩිනමින් පරීක්ෂණ අවසන් කළ හැකි’ බවට රජය විසින් තෝරාගෙන ඇති කල්ගිය නඩු හතට ත්‍රිකුණාමලයේ පංච ශිෂ්‍ය ඝාතනය ඇතුලත් නොවේ.
මේ අතර එවකට මහාමාර්ග සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා ඇත්තේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව ආණ්ඩුව දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි.
'තුවක්කු සහ උණ්ඩ පිළිබඳ සාක්‍ෂිවලින් එය ඔප්පු කළ නොහැකියි. සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ,'යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි.
තර්ජන ගර්ජන හා බියවැද්දීම් වලින් මරා දැමූ සිසුන්ගේ දෙමාපියන් යටත් කිරීමට උත්සාහ දරු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පසුව වෑයම් කළේ වරදාන ප්‍රදානය කරමින් ඔහුන් නිහඬ කිරීමටය.
එවකට මානව හිමිකම් සහ ආපදා කළමණාකරණ ඇමැති හා මෙවකට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ 'මේ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙනයාමෙන් කිසිවෙකුට යහපතක් නොවන බවත් එහෙයින් මෙම පැමිණිල්ල අත්හැර දමන ලෙසත් එසේ කරන්නේ නම් කොළඹින් නිවසක් සහ ආරක්ෂාව ද සැපයීමට තමන්ට හැකි බව' කියා සිටියේ යයි වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් සාක්‍ෂියේ සඳහන් කර තිබේ.
වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්
එහෙත් මරා දැමුණු සිසු මනෝහරන් රාජ්හර් ගේ පියා වූ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා ත්‍රිමලේ සිසු ඝාතනය රැගෙන ගිය ද, වසර 20 ක් ගත විත්, ඒ සඳහා යුක්තිය ඉටුවී නොමැත.
වෙඩි තබා ඝාතනය කරන ලද සිය පුතු මනෝහරන් රජීහර් ඇතුළු සිසු දරුවන් පස් දෙනකු වෙනුවෙන් සටන් වැදී යුක්තිය නොලබාම 2025 සැප්තැම්බර් 21 දුරු රටකදී වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්ගේ දිවි ගමන නිමා වී තිබුනි.




