ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් පවසන්නේ, සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකත්යයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමට පක්ෂය තිරණය කළ බවයි. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා නම් කර එවා තිබු හමුදා නිලධාරියකු විගණකාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට විපක්ෂය විරුද්ධ වෙද්දී ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ඔහුට සහයෝගය පළ කර තිබීමයි.
“විගණකාධිපති පිලිබඳ කාරණයේදී හමුදා නිලධාරියකු වෙනුවෙන් ඡන්දය දුන් බවට ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහු සියලු කාරණාවලදී රජය සමඟ ඇස් පියාගෙන ඡන්දය දෙන බවට හත් අට වතාවක් චෝදනා එල්ල වෙලා තියනවා. ඒක නිසා පක්ෂය අපහසුතාවයට පත් නොවන පරිදිත් ඔහු අපහසුතාවයට පත් නොවන ආකාරයටත් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලන්න අපි තීරණයක් අරගෙන තිබෙනවා.”
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී කර්නල් ඕවිටගේ රංජිත් රාජසිංහ විගණකාධිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේදී ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර තිබේ. අනිකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සිවිල් සමාජ සාමාජිකයන් විරුද්ධ වීම නිසා එම නිලධාරියාගේ පත්වීම අනුමත වී නැත.
ශ්‍රී ලංකාවේ 41 වැනි විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය අට මසකට වැඩි කලක් පුරප්පාඩු වී පවතී.
ඒ පදවියට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද සිව් දෙනාම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාතික විගණන කාර්යමණ්ඩල වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් නිල වශයෙන් ඉල්ලා ඇත්තේ, දැනට විගණකාධිපති ධුරයෙහි වැඩ බලන ජී.එච්.ඩී. ධර්මපාල එම තනතුරෙහි ස්ථිර කරන ලෙස ය.
2025 ජනවාරි 03 වැනිදා වව්නියාවේ පැවැති ඉලංගෙයි තමිල් අරසු කච්චි දේශපාලන මණ්ඩල සාකච්ඡාව නිමා වීමෙන් පසු පෑවත්වු මාධ්‍ය හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් වැඩි දුරටත් කියා තිබුනේ විගණකාධිපති පත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම මෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත් කිරීමේදී ද ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහාය පළ කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
හානිපූරණය සඳහා වන කාර්යාලයේ සභාපති පත් කිරීමේදීද ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහාය පළ කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි ලේකම් එම්. ඒ සුමන්තිරන් වැඩි දුරටත් සදහන් කර තිබුනි.




