The Leader News
BREAKING
Top Ad
පුවත්

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප

T

The Leader Desk

January 7, 2026 • 5:24 AM

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පවසා ඇත්තේ පොලිසිය අනීතික අයුරින් අධිකරණය මෙහෙයවා ඇති බවයි.
  • ඔවුන් සියළු දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව 2026 පෙබරවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබේ.
  • ඒ සුමන්තිරන් නඩු කටයුතු හමාර වීමෙන් පසු පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ පොලීසිය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බවයි.
  • අයිතිය ලබා දී තිබෙනවා විතරක් නෙමෙයි, එවැනි විරෝධතා දිරිමත් කළ යුතු බව එම තීන්දු වලින් කියලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනය, කන්කසන්තුරය ඓතිහාසික තිස්ස රජමහා විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමියන් වෙත අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ මහෝත්සවය 2025 දෙසැම්බර් 21 වැනි දින පස්වරුවේ කොළඹ කළපළුවාව ගෝතම තපෝවනයේදී  සිදු කර තිබුනේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලි කත්වයෙනි.

ගිංතොට නන්දාරාම හිමියන්ගේ පදවි ප්‍රාප්තියට විරෝධය පාමින් එදින තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා දියත් කරද්දී පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි සහ කෝපායි ප්‍රාදේශීය සභාපති ත්‍යාගරාසා නිරෝෂ් ඇතුලු පස් දෙනකු මල්ලාක්කම් අධිකරණය විසින් ඇප පිට නිදහස් කර තිබුනි.
 
03
 
විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පවසා ඇත්තේ පොලිසිය අනීතික අයුරින් අධිකරණය මෙහෙයවා ඇති බවයි.
 
විහාරස්ථානය ඉදිරිපිට නීති විරෝධී රැස්වීම, අයුතු අවහිරය, මාර්ග අවහිර කිරීම, සාපරාධි බලහත්කාරය පෑම හා අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා යටතේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් පස්  දෙනෙකු පලාලි පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පස්දෙනා  රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලද බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දෙසැම්බර් 21 ක් වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනි.

ඔවුන් පස් දෙනා ඇතුළු විරෝධතාවය සදහා එක්ව සිටි 30 දෙනකුට එරෙහිව නීති විරෝධී රැස්වීමේ චෝදනාව යටතේ ගොනු කර තිබු නඩුව 2026 ජනවාරි 5 වැනි සඳුදා මල්ලාක්කම් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සිය සේවාදායකයන් සියළු දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
 
01 tissa
ඔවුන් සියළු දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණ  තීන්දුව 2026 පෙබරවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබේ.
 
 
විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් නඩු  කටයුතු හමාර වීමෙන් පසු පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ පොලීසිය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බවයි.
 
"එවැනි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට අවසර නැහැ. මෙම සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ විසඳන ලද නඩු තීන්දු මගින් ලබා දීලා තිබෙනවා. අයිතිය ලබා දී තිබෙනවා විතරක් නෙමෙයි, එවැනි විරෝධතා දිරිමත් කළ යුතු බව එම තීන්දු වලින් කියලා තියනවා. එවැනි විරෝධතා අතරතුර පොලිසිය උදව් කළ යුතු බව අධිකරණ තීන්දුවලින් ද පවසා ඇති බව අපි අධිකරණයේ අවධානයට යොමු කළා."

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම වත්මන් පාලනය යටතේද පොලීසියේ ක්‍රියාකලාපයේ වෙනසක් නොමැති බව  මාධ්‍යවේදීන් හමුවේ කියා සිටි විරෝධතාකරුවන්  වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි  දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා අවධාරණය කළේ පොලීසියේ මානසිකත්වයේ සහ ආකල්ප වල තවමත් වෙනසක් සිදුව නොමැති බවයි.

"මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට පොලිසිය එවැනි නඩු ගොනු කිරීම නීතිය විහිලුවට ගැනීමක්. අද සියල්ල වෙනස් වෙමින් පවතින බව කියනවා. නමුත් මෙම නව ආණ්ඩුව කාලය තුළ පවා එවැනි නඩු ගොනු කිරීමෙන් පෙන්නුම් කරන්නේ මානසිකත්වය සහ ආකල්ප වෙනස් වී නොමැති බවයි. "
 
 
තිස්ස රජමහා  විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 16 ට අයත් අක්කර අට හමාරක්  ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.
 
“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.
 
 
දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ  ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර තිබේ.
 
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප | The Leader