වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින් මෙරට දේශීය ආර්ථිකය අස්ථාවර කළ හැකි ක්‍රමවේදමය අවදානමක් (Systematic Risk) නිර්මාණය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා අද දින (ජනවාරි 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වරාය නගරයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පත් කිරීම පිළිබඳව සුබ පතමින් කතාව ආරම්භ කළ මන්ත්‍රීවරයා, ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වසර හතරක් තිස්සේ පත් කර නොමැති වීම පිළිබඳව ද රජයට දෝෂාරෝපණය කළේය.
පනතේ 421 වගන්තිය යටතේ, මෙතෙක් වරාය නගරයේ විදේශීය බැංකුකරණ කටයුතු (Offshore Banking) සඳහා බලපැවැත් වූ බැංකු පනතේ විධිවිධාන ඉදිරියේදී අදාළ නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මීට පෙර බැංකු පනත යටතේ මහ බැංකුව විසින් නිකුත් කළ බැංකු බලපත්‍ර, මෙම සංශෝධනයෙන් පසු වරාය නගර කොමිෂන් සභාව හරහා නිකුත් කිරීමට නියමිතය.
එවැනි බලපත්‍ර නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් කොමිසමට තිබේදැයි ප්‍රශ්න කළ ෆයිසර් මුස්තෆා, මේ හරහා 'සෙවණැලි බැංකු පද්ධතියක්' (Shadow Banking System) නිර්මාණය විය හැකි බවට අනතුරු ඇඟවීය. එමෙන්ම, වරාය නගරයේ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවලට මෙරට දේශීය බැංකුවලින් ඩොලර් ණයට ගැනීමට අවස්ථාව ලැබීම හරහා මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය බැංකු පද්ධතියට ද විශාල බලපෑමක් එල්ල විය හැකි බව ඔහු සඳහන් කළේය.
ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ මහ බැංකුවේ භූමිකාව මහ බැංකුව විසින් මෙතෙක් දේශීය බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර 'බාසල්' (Basel) ප්‍රමිතීන්ටත් වඩා වැඩි ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතයක් (10%) පවත්වාගෙන ගියද, නව සංශෝධනය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පමණක් සැලකීම තුළින් යම් අපැහැදිලි තත්ත්වයක් උදාවන බව ඔහු ප්‍රකාශ කළේය. මෙහිදී බලපත්‍ර නිකුත් කිරීමේ බලය කොමිසමට ලබාදී මහ බැංකුවේ භූමිකාව සීමා කිරීම බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇතැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
බදු පීඩනය සහ මොළය පිටරට ගලායාම වරාය නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික නේවාසිකයන්ට සියයට 36ක් වැනි ඉහළ ආදායම් බදු ගෙවීමට සිදුවීම හරහා දක්ෂ තරුණ පිරිස් සහ වෘත්තිකයන් රට හැර යන 'මොළය පිටරට ගලායාමේ' (Brain Drain) ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වන බව ෆයිසර් මුස්තෆා පෙන්වා දුන්නේය. ඩුබායි වැනි රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව ආයෝජන සඳහා තරඟකාරී නොවන බවත්, බලශක්ති සහ ශ්‍රම පිරිවැය ඉහළ මට්ටමක පවතින බවත් ඔහු පැවසීය.
ආයෝජකයන් මුහුණ දෙන ගැටලු මෙරට දේශීය ආයෝජකයන් ද දිරිමත් කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා, නිශ්චල දේපල ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයතන 21කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවීම නිසා දේශීය ව්‍යාපාරිකයන් කලකිරීමට පත්ව ඩුබායි වැනි රටවල ආයෝජනය කරන බව ප්‍රකාශ කළේය. වරාය නගර කොමිසමට අයදුම්පතක් ඉදිරිපත් කළ පසු එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිශ්චිත කාල රාමුවක් නොමැති වීම ද ආයෝජකයන්ට බාධාවක් බව ඔහු පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත පමණක් පදනම් නොවී, ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් ආයෝජන හිතකාමී රටක් බවට පත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ෆයිසර් මුස්තෆා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




