"ඔබතුමන්ලා මේ රටේ ජාතීන් අතර සමගිය ඇතිකරන්න යනවද, නැතිනම් මීට කලින් හිටපු අය කරපු වැරදි නිවැරදි කරලා යුක්තිය ඉෂ්ට කරන්න යනවද, එහෙමත් නැතිනම්, ඔබතුමන්ලා දිගටම ඒ වැඩේම කරගෙන ඉන්න යනවද? තමන් වාමාංශිකයන් ය, මේ රට නගා සිටුවන්න යනවාය, හැමදෙනාටම එකා වගේ සලකන්න යනවාය කියලා තමුන්නාන්සේලා දිගින් දිගටම කියනවා. ඒ සාධාරණත්වයේ කියමන් ඔබතුමන්ලා ක්‍රියාවට නගන්න යන්නේ කවදද?"
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් 2026 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්නය නගා තිබුනේ යුද්ධයේ අවසානයෙන් පසුවත් උතුරේ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වු බෞද්ධ නොවන සිද්ධස්ථාන දෙකක් විනාශ කර ඇති ආකාරයද පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.
"විශේෂයෙන්ම, ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, 2010 වෙනකල්, වලිකාමම් උතුරේ මයිලිට්ටි, තෝලකට්ටි, තයියිට්ටි, පලාලි හා වසාවිලාන් කියන පලාත්වල තිබුණු හින්දු ආශ්‍රම - වරසිද්ධි විනායගර් - මම මේ පින්තුරේ පෙන්නන්නම් - වරසිද්ධි ගණදෙවි කෝවිල. මේක ඒ පළාතේ ජනතාව 2010 ගත්ත ඡායාරූපයක්. ඒත්, මේ කෝවිල ගහලා කුඩුපට්ටම් කරලා දාලා තියෙනවා. කෝවිල තිබුණු ලකුණක්වත් නැහැ."
පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් එහිදී චෝදනා කර තිබුනේ මයිලිට්ටිවල ඉදිකර තිබු පුරාවිද්‍යා වටිනාකමක් සහිත කතෝලික දේවස්ථානයක්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී යුද හමුදාව විසින් විනාශ කර දැමු බවටයි.
"මයිලිට්ටිවල තිබුණු ශුද්ධවූ පූජාවේ මාතාවගේ දේවස්ථානය. මේ පල්ලිය 2010 වෙනකල් සම්පුර්ණයෙන්ම තිබුනා. ඒ හොඳට තිබුණු දේවස්ථානය 2010න් පස්සේ - මේක අවුරුදු 150ක් පරණ, පුරාවිද්‍යා වටිනාකමක් තියෙන පල්ලියක්. මේ පල්ලියත් මහින්දගේ ආණ්ඩුව කාලේ හමුදාව ගහලා විනාශ කරලා දාලා තියෙනවා."
පුරාවිද්‍යා අනන්‍යතාවක් සහිත හින්දු සිද්ධස්ථාන හා ශිවාගමික සිද්ධස්ථාන එලෙස විනාශ කර දැමීමට හැකිනම් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් අලුතින් ඉදි කර ඇති බෞද්ධ විහාරයක් ඉවත් කිරීම වරදක් වන්නේ කෙසේදැයි දෙමළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුවේදී දැඩිව ප්‍රශ්න කර තිබුනි.
"මේ වගේ පුරාවිද්‍යා අනන්‍යතාවක් තියෙන, ඉතිහාසයක් ඇති දේවාල, හින්දු සිද්ධස්ථාන, ශිවාගමික සිද්ධස්ථාන ගහලා විනාශ කරලා දාන්න පුලුවන්නම්, ඇයි, බලහත්කාරයෙන්, බයිෆෝස් එකෙන්, හදලා තියෙන බෞද්ධ විහාරයක් කඩා දාන එක වැරදි වෙන්නේ කොහොමද? ඔහෙලට හින්දු දේවාල කඩලා දාන්න පුළුවන්, උගුල්ලලා දාන්න පුළුවන්. කතෝලික දේවස්ථාන විනාශ කරන්න පුළුවන්. ඒත්, බෞද්ධ සිද්ධස්ථානවලට විතරක් - කවද්ද ඔබතුමන්ලා ජාතීන්ට ආදරයක් දක්වන්නේ? කවද්ද ඔය ජාතික සමගිය? ඒ හින්දා, ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ හිත් හොඳට වෙනස් කරගන්න."
තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එම විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර සිය භුමිය සම්පුර්ණයෙන්ම නිදහස් කරන ලෙසයි.
දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් 2026 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී තව දුරටත් ආණ්ඩුවට අවධාරණය කර තිබුනේ උතුරේ ජනතාව වත්මන් පාලනය යටතේද හමුදාවේ දැඩි පීඩාව යටතේ ජීවත් වීම උතුරු නැගෙනහිර හා දිවයිනේ සෙසු පළාත් අතර කැපී පෙනෙන වෙනස බවයි.
"සිංහල ජනතාවට තියෙන දේ කියන්න. ජනතාව පිලිගන්නවා ඔබේ ආණ්ඩුව. අවංකව, පිරිසිදුව ඉන්න ඕනේ නම්, මුලින්ම - යාපනය වෙනස්, එහෙ ඔක්කොම තියෙන්නේ වෙනස් විදියට කියලා ඔහෙලගෙ ඇමැතිවරු, ඕගොල්ලන්ගේ නියෝජිතයෝ කියනවා. වෙනස මොකක්ද? ඔබතුමන්ලාගේ මර්දනයේ වෙනස කියන එක අදත් එහෙ තියෙනවා. උතුරු නැගෙනහිර හමුදාව වෙන් කරගෙන ඉන්නවා. මුළුමනින්ම හමුදාවේ පීඩාව යටතේ තමයි ජනතාව ඉන්නේ. ඒක වෙනසක් තමයි. ඒක මුලින්ම අයින් කරලා දාන්න ඕනේ."




