අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනි සඳුදා උදෑසන 9.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ''දරුවන් උදෙසා වැඩිහිටියෝ'' සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
අද(10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය සිදුකිරීමට යන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.
දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් වශයෙන් බවත් ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් බවත් මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් විමල් වීරවංශ සඳහන් කළේය.
අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය you tube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක් බවත් මෙම තත්ත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේද වැඩි අවධානයක් යොමු විය යුතු බවත් විමල් වීරවංශ කියා සිටියි.
මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් පවතින බවත් එම මුදල් යන්නේ කාටදැයි සොයාබැලීමද ඉතා වැදගත් වන බවත් විමල් වීරවංශ සඳහන් කළේය.
පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවත් නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුවන බවද හිටපු මන්ත්‍රීවරයා පැවසිය.
විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේ 12 වැනි දා ආරම්භ කරන අඛණ්ඩ සත්‍යග්‍රහය මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තුරු අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.





