අධිකරණ නියෝගයෙන් වැලිකඩ බන්ධනාගාරයට ඇතුලත් කිරීමෙන් පසු මියගිය මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පුවේ විසූ සභාරත්නම් නගුලේෂ්වරන්ගේ ඥාතීන් පවසන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වගකීම් විරහිත ක්‍රියාමාර්ග මරණයට හේතුව බව මරණ පරීක්ෂණයේදී දැනුම් දුන් බවයි.
කළු ගැසුණු ආසාදිත තුවාලයක් දකුණු පාදයේ දකින්නට ලැබුණු බව රෙක්සි ගොඩ්වින් පියදාස මහේස්ත්‍රාත්වරයාට යවන මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරන අතිරේක අධිකරණ වෛද්‍ය විශේෂඥ සතාසිවම් රවීන්ද්‍රන් “බන්ධනාගාර රෝහලේදී කඩිනම් සහ නිසියාකාර සැලකිල්ල දක්වා නැති බවට ළගම ඥාතීහු පැමිණිලි කරති,” යි ලියා තිබේ.
වයස අවුරුදු 59 ක් වන සභාරත්නම් නගුලේෂ්වරන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මස 10 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාලව ඔහුට විවෘත වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙනි.
ඔහු 2025 දෙසැම්බර් 11 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 ජනවාරි මස 9 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සභාරත්නම් නගුලේෂ්වරන් දියවැඩියා රෝගියකු බව සදහන් කරන ඔහුගේ ඥාතීන් මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ ඔහු බන්ධනාගාරගත කළ දිනයේ සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා දිනපතා පවුලේ සාමාජිකයන් ඔහු බැලීමට බන්ධනාගාරයට ගිය බවයි.
දෙසැම්බර් 26 වැනිදා බන්ධනාගාරයට යන විට සභාරත්නම් නගුලේෂ්වරන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබු අතර ඔහුගේ පාද වල තුවාල දැකගත හැකි වු බව ඔහුගේ ඥාතීහු සඳහන් කරති.
ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ සිය ඥාතියා දියවැඩියා රෝගියකු නිසා වෛද්‍ය උපදෙස් පරිදි නිරන්තරයෙන් සපත්තු පැළඳ සිටි අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔහුට සෙරෙප්පු ලබා දීම නිසා පාද වල තුවාල හට ගෙන ඒවා ආසාදනය වීමෙන් මරණය සිදු වන්නට ඇති බවයි.
2025 දෙසැම්බර් 27 ත් 29 ත් අතර දිනකදී සභාරත්නම් නගුලේෂ්වරන් මිය ගිය පුවත බන්ධනාගාර නිලධාරීන් විසින් පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇති අතර පවුලේ ඥාතීන් මළ සිරුර භාරගෙන ඇත්තේ 2025 දෙසැම්බර් 30 වැනි දිනයි.
සිය නම සදහන් නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි සභාරත්නම් නගුලේෂ්වරන්ගේ පවුලේ ඥාතියකු සදහන් කරන්නේ සිය ඥාතියාගේ මරණය සැක සහිත නිසා බොරැල්ල පොලිස්ථානයේ පැමිණිල්ලක්ද ගොනු කළ බවයි.
"එයාව වෙනත් රෝහලකට මාරු කළා නම් බේරගන්න තිබුණා. එහිදී ඔහුට හරියට ප්‍රතිකාර ලබා දෙන්න තිබුණා. මේක ඇත්තටම වෛද්‍යවරුන්ගේ සහ බන්ධනාගාරයේ නොසැලකිල්ල. මේක අරාජිකත්වයක්. මේකට කවුද වැරදිකරු කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔවුන්ට ජීවිතයක් දෙන්න පුළුවන්ද? ඒ දරුවාට මොනවා වුණත් පියෙක් දෙන්න පුළුවන්ද? ඔහුගේ බිරිඳට අහිමි වූ සැමියා දෙන්න ඔවුන්ට පුළුවන්ද?"
සභාරත්නම් නගුලේෂ්වරන්ගේ අවසන් කටයුතු 2025 දෙසැම්බර් 30 වැනිදා යාපනයේදී සිදු කර තිබුනි.




