බදු කාන්දුවීම් වැළැක්වීම සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (13) අත්සන් කළේය.
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් විසින් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුවන අඩු තක්සේරු කිරීම්, (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන තිබේ.
ඇතැම් ව්‍යාපාරිකයින් තාවකාලික පදනම යටතේ තෙවැනි පාර්ශවයන් හරහා භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමක් සිදු කරන බවද, එමගින් එම ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු නියමිත බදු මුදල් ගෙවීමද පැහැර හරින බවද අනාවරණය වී තිබේ.
අදාළ ගැටළු අවම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉදිරියේදී අද (13) අත්සන් කෙරිණ.
දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කළ අතර, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මෙහිදී සිදු කෙරිණ.
මෙම ගිවිසුම මගින් භාණ්ඩ ආනයනකරුවන් හා වෙළඳ ප්‍රජාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා රේගුවට කරනු ලබන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීමට සහ විගණනය කිරීමටද මෙමගින් හැකියාව ලැබේ.
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහල නැංවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය මගින් එම ආයතන තුනට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන යෝජනා කිරීම සඳහා මෙහෙයුම් කමිටු පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම මෙම කාර්යාංශයේ මූලික අරමුණය. මෙම ගිවිසුම අත්සන් කිරීම ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරිණ.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අතිරේක ලේකම් හිමාලි පුල්ලපෙරුම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු , ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(සටහන | ජේ.මුණසිංහ)




