නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මෙය ප්‍රකාශයට පත් කර ඇත.
කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂසහගත බව සහ මෙම කාර්තුව සඳහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් කරනු ලැබූව ද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැංවීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදි කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව එම නිවේදනයේ සඳහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය 2026 පළමු මාස 3 සඳහා 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල ගෙවීම සඳහා ලබා ගත ණය මුදලේ ගෙවිය යුතු වාරිකය ද පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට එයින් යෝජනා කර තිබිණි.
මහජන උපයෝගීතා කොමිසමේ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන ලදී.
කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සදහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත්කරනු ලැබුවද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සදහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.
2026 ජනවාරි සිට මාර්තු දක්වා සදහා වු ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවිමට දන්වා තිබිණ. එහෙත් 2026 පළමු කාර්තුව සදහා ලංවිම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වැනි දිනය. එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින ලංවිමට දන්වා සිටියේය. නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවිම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වන ලදී.
මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශන වලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සදහාය. කාර්තුවේ කෙටි කාලයක් සදහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී තිබේ. එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපා හැකිය.
වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සදහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය අහිතකර බලපෑම් සළකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් තීරණය කරන ලදී. එමෙන්ම 2026 දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද කොමිෂන් සභාව විසින් ලංවිමට දන්වා තිබේ.





