අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් කටයුතු කරමින් සිටින්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණිය දරුවන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබු ඉංග්‍රීසි මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම මුලිකම කරුණ ලෙස පදනම් කර ගනිමිනි.
ඒ හා සමග ඇයට එරෙහිව ගෙනයනු ලබන ස්ත්‍රී විරෝධී අපහාසවලට දෙමළ දේශපාලන නායකත්වය ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වීම විශ්වාස භංගයට හවුල් නොවීමට තීරණය කර තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් පවසන්නේ සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එම විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීමට තීරණය කළ අතර අගමැතිනියට එල්ල කර ඇති චෝදනා නිවැරදි සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට චෝදකයන් අසමත් වී ඇති බවයි.
"විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරියට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාවට අපි, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ තවත් සමහර පක්ෂවල මන්ත්‍රීවරුන් අත්සන් කළේ නැහැ. ඒ කියන්නේ හරිනි අමරසූරිය කාන්තාවක් කියන එක ඒක හේතුවක්. ඊටත් වඩා, ඇයට එල්ල වී ඇති චෝදනා සඳහා නිවැරදි සාක්ෂි කිසිවෙකු ප්‍රකාශයට පත් කර නැහැ. ආගමික නායකයන්, ආගමික ආයතන හෝ ඇයට එරෙහි බලවේගයක් කතා කරනවා මිසක් එයා ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණට අදාල විෂය එළියට එන්නැති මොහොතේ, එයත් කියන්නේ මේක පාර්ලිමේන්තුවේ සීල් කරලා තියනවා කියලා. ඒ වගේ විෂයන් නෑ කියලා කිව්වට පස්සෙත් දේශපාලන පලිගැනීමේ ක්‍රියාවක් විදිහට සහ අපහාසයක් ලෙසත්, මේක ගෙනල්ලා තියන නිසා අපි ඒක පිළි ගත්තේ නෑ. අපි මේක ගැන අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුලත් කතා කරා. අපි පක්ෂ නායකත්වයටත් කතා කරා. ඒ නිසා අපි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේ නැහැ. "
ඉදිරි දිනකදී එවැනි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් අගමැතිනියට එරෙහිව ඡන්දය දීමේ හැකියාවක් නොමැති බව 2026 ජනවාරි 11 වැනිදා කිලිනොච්චියේදී පැවැති මාධ්‍ය හමුවක දී ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා අවධාරණය කර තිබුනි.
"අනාගතයේදී එවැනි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත්, අග්‍රාමාත්‍යවරියට එරෙහිව ඡන්දය දීමට අවස්ථාවක් නැහැ."
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබුනේ අගමැතිනියට එදිරිව දැනට මුදා හරින සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි අපහාසාත්මක ප්‍රචාර පිළි නොගන්නා බවයි.
" හරිනි අමරසූරිය සමඟ, අගමැතිනිය ලෙස පමණක් නොවේ, ඇයගේ පක්ෂයේ ප්‍රධාන සාමාජිකාවක් ලෙසත්, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසත්, අපගේ සංවිධානයට සහ මට ඉතා බරපතල සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. කෙසේ වෙතත්, ඇයට එරෙහිව දැනට මුදා හරිනු ලබන කිසිසේත්ම පිළිගත නොහැකි අපහාසාත්මක ප්‍රචාරවලට අප හවුල්වන්නේ නැත."
ලබන වසරට කල් යයි
රජය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
2026 ජනවාරි 13 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවයි.
ප්‍රශ්නගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී සදහන් කළේය.
22 සහ 23 විවාදයට
අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී වැඩි දුරටත් සදහන් කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති අතර, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ කැබිනට් ප්‍රකාශක තව දුරටත් කියා සිටියේ ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් යි.




