The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඒක ජාතිවාදය නෙමෙයි ඒක විශ්වාසය' - නාමල් තඹුත්තේගම දී ජනපතිට කියයි

T

The Leader Desk

January 18, 2026 • 1:20 PM

 'ඒක ජාතිවාදය නෙමෙයි ඒක විශ්වාසය' - නාමල් තඹුත්තේගම දී ජනපතිට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (17) දින තඹුත්තේගම දී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
  • අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන.
  • අපේ හාමුදුරුවනේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.
  • වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (17) දින තඹුත්තේගම දී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,


''අපට ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා''


''වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා. මම ටිකක් පරක්කු වුණා. හැබැයි ගරු ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ, මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ. හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා. අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන..

"අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕන කියලා. අවස්ථාවාදී දේශපාලනය තුල තමන්ගේ රට ජාතිය ආගම පවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රදා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ. දැන් යුද්ධය නෑනේ දැන් යන්න පුලුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගෙන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි, නල්ලූර් දේවස්ථානයේ ඉදලා යාපනයේ කෝවිල් ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැද පුදාගන්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒක විශ්වාසය.

617599324 1438625054299894 74209556323861265 n

 බෞද්ධයාට නාගදීපය ගැන තියෙන විශ්වාසයම තමයි කතෝලිකයාට මඩු මෑණියන් ගැන තියෙන්නේ. ඒ හා සමාන වූ විශ්වාසයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම පුදභූමිය ගැන තියෙන්නේ. ඒ භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියන ආසාව නෙමෙයි.දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය. 

 

ඒ නිසා ඔබ විශ්වාස කරනවනම් ජනාධිපතිතුමනි බෞද්ධ දර්ශනයට ඇගිල්ල දික් කරලා ඔබේ දේශපාලනය උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නෑ. ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. ඒ වගේම හමයි අමතක කරන්න එපා අද  ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියනවා. මහා බ්‍රිතාන්‍ය ගත්තත් එහෙමයි.  ඇමරිකාවේ ගත්තත් එහෙමයි.


''සියළු ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘභූමිය ගොඩනැගිච්ච නිසා''


අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ. ආගම් අතර මරාගෙන ඇනකොටා ගන්නේ නැහැ  ඇයි ඒ. අපේ හාමුදුරුවනේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.

සියළු ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘභූමිය ගොඩනැගිච්ච නිසා. නිර්මල බුදුදහමේ ඉගැන්වීම මත ගොඩනැගිච්ච මේ රටේ ජන සමාජය හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගරු කරනවා. ඒ නිසා දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවිහාමුදුරුවෝ වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා. ඒක අපේ විශ්වාසය සහ බැඳීම.

617569739 1438625307633202 3010776826770087718 n
 මම එකකට සතුටු වෙනවා මගේ තාත්තා රණවිරුවන් කළ ඒ කැප කිරීම මත ලබපු නිදහස අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විදීම පිලිබඳව මම හදවතින්ම සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මොකද අපේ දේශපාලනය තුළ වෛරය නැහැ. අපිට අවශ්‍යයි මේ රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක්. අපිට ඕන මේ රට දියුණු වෙනවා දකින්න ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙමෙයි. වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා.
 
අද එක පැත්තකින් මහා ව්‍යසනයකට අපි මුහුණ දීලා තියනවා. ඒ මහා ව්‍යසනය ඇතුළේ ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවුණා. ආණ්ඩුවේ මැදිහත් වීමක් තිබුණද මදිද මේ කාරණා පිළිබඳව හොයන්න ඕන. ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා කියන විශ්වාසය ව්‍යසනයට ලක්වෙච්ච ජනතාව තුළ තියෙනවා.

ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිලිබඳව මහ දැවැන්ත කලකිරීමක් හා අප්‍රසාදයක් තියෙනවා. අසීමිත බදු බරක් ජනතාවට දරාගන්න බැරි බදු බරක් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වෙනුවට ඉතිහාසයේ කවදාවත් නැති විදියට පිටරටින් එලවලු පලතුරු  ගෙනල්ලා කන්න දෙන සංස්කෘතියක් අපේ රටේ හදන්න උත්සාහ කරනවා. අපි හැමදාම අපේ ගමේ අහිංසක අම්මලා තාත්තලා අපේ සීයලා මේ මහපොළවත් එක්ක පොරබැදුවා රන් අස්වනු නෙළා ගත්තා. එදා තුන් වේලම බත් කාලා සතුටින් ජීවත් වෙච්ච සමාජයක්. පිටරටින් හාල් ගෙනල්ලා පිටරටින් එලවලු පලතුරු ගෙනල්ලා කන්න දෙන එක ආණ්ඩුවකට ලේසි වෙන්න පුලුවන්. ආණ්ඩුවට වාසි වෙන්නත් පුලුවන්. හැබැයි මේ සමස්ත  මාතෘභූමිය තුල ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ධීවර ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවසායකයා ආරක්ෂා කිරීමේ වගකීම පවතින ආණ්ඩුවට මගහරින්න බෑ කියන එකත් අපි මතක් කරන්න ඕන.


''එක පෑන් පාරින් කන්ටේනර් 323 ක් වරායෙන් එළියට දාලා තියෙනවා''

615432529 1438624687633264 2574608879433585526 n
එක පෑන් පාරින් මාෆියාව නවත්තන එක කෙසේ වෙතත්  එක පෑන් පාරින් කන්ටේනර් 323 ක් වරායෙන් එළියට දාලා තියෙනවා. එදා අපිට මඩගැහුවා ඒ විදියටම අදටත් මඩ ගහනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ඔව්  මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරන්න ඕන.  සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටෙන් තුරන් කරන්න ඕන. හැබැයි ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන්නත් ඔවුන්ට විරුද්ධ සංවිධානාත්මක අපාරධකරුවන් විපක්ෂයට සම්බන්ධයි කියලා හංවඩු ගහන්නයි කියන ප්‍රතිපත්තිය ඇතුලේ කවදාවත්ම ඒක කරන්න බෑ කියන එකත් ආණ්ඩුව මතක තියාගන්න ඕන. කවදාවත් එහෙම කරන්න බෑ. ඒ හින්දා අවංකයෙන් සද්භාවයෙන් ඒ කටයුත්ත කෙරුවොත් මේක මේ රටින් තුරන් කරන්න පුලුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා.

අපි මේ මහපොළවේ ජනතාවගෙන් ගොඩනැගිච්ච දේශපාලන බලවේගයක්. අපි හැමදාමත් මේරටේ ගොවිජනතාව වෙනුවෙන් පෙනී හිටියා. අපි ඉදිරියටත් අනාගතේදිත් මේ මාතෘභූමියේ වවන්න පුලුවන් හැම භෝගයක්ම වවනවා වගේම ගොවියාගේ දරුවට තාක්ෂණයත් එක්ක නූතන පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහිකරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕන. ඒ වගකීම අපි බාරගන්නවා.



 අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්. අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කණ්ඩායමක් ඒ වගේම අවංක චේතනාවකින් මේ රටේ තරුණ පරම්පරාව ගොඩනගන්න ඕනේ ලෝකේ රැකියා වෙළෙඳ  පොලට තරුණයන් සූදානම් කරන්න ඕනේ වෙළෙඳ පොලට වගේම නූතන රැකියා වෙළඳපොලට ගැලපෙන වගේම අපේ සංස්කෘතියට ආගම දහමට ගැළපෙන දේශපාලන පරිවර්තනයක් කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයකින් ඉන්න දේශපාලන කණ්ඩායමක්.
 615730264 1438624607633272 8117305987050039453 n

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඔබ තමුන්නාසේලාට මම ස්තූතිවන්ත වෙනවා. අපි දීර්ඝ ගමනක් ආවා. අභියෝග ගණනාවක් අපි පහු කළා. පහුගිය කාලේ අපි පසුබැස්සා. ඔව් අපේ අඩුපාඩුකම් තියෙනවා. අපි ඒවා හදාගත්තා, අපි ඒවා හදාගනිමින් ඉන්නවා. මා විශ්වාස කරනවා උද්ධච්චකමෙන් රටේ ජනතාවට පක්ෂයට පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදී පාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයා එක්ක ගැටිලා පාක්ෂිකයා එක්ක කතා කරලා මාතෲ භූමියේ මහපොළොවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ. අන්න එවැනි දේශපාලන පරිවර්තනයකට අපේ පක්ෂය අද සූදානම්. මම ආරධනා කරනවා අපෙන් ඈත් වෙච්ච තව බොහෝ පිරිසක් ඉන්නවා අද විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ එකතුවීම තුළ අපිත් එක්ක රැදිච්ච අපි එක්ක පෙනීහිටපු ජනතාව ශක්තිමත්ව ගොඩනැගෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා අපෙන් ඈත් වෙලා වෙන් වෙලා හිත් අමනාප වෙලා හිත් බිඳිච්ච පිරිස් ඉන්න්වනම, තව ඉන්නවනම් අපි ඒ අයට කතා කරනවා අපි එක්ක කතා කරලා අපි කවුරුද කියලා පැහැදිලි කරමු,

බොරුවට වෛරයට ආණ්ඩුවේ ඊර්ෂ්‍යාවට ආණ්ඩුව මේ රටට ගැලපෙන්නේ නැති දේශපාලන ප්‍රතිපත්ති වලට අද ආණ්ඩුව ඇතුළෙන්ම විරුද්ධව ගොඩනැගෙන බලවේගය ඇතුළෙම අපේ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ අයටත් ආරාධනා කරනවා අපි සාකච්ඡා කරමු. යම් වෙනස්කමක් තියනවනම් ප්‍රතිපත්ති මාලාවක් ඇතුළේ අපි එකඟ වෙමු. අපෙන් ඈත්වෙච්ච දුරස්වෙච්ච සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක අත්වැල් බැඳගමු එන්න මීලඟට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් මේ මාතෲ භූමිය තුළ පැල කරන්න එක්කාසුවෙන්න කියලා අපි ඉල්ලනවා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...