ත්‍රස්තවාදය වැළක්වීමේ පනත PTA අහෝසි කරන බවට ඡන්දයට පෙර සහතික වූ මාලිමා ආණ්ඩුව නීතිගත කරන්නට යන අලුත් ත්‍රස්ත පනත ගැන මානව හිමිකම් නීතිවේදිනී කිශාලි පින්ටෝ ජයවර්ධන කරන විවරණයක තුන්වැනි කොටසයි මේ. මේ ලිපිය Sunday Times පුවත්පතේ මුල්වරට ඉංග්‍රීසියෙන් පලවූයේ 2026 ජනවාරි මුලදීය.)
ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙනු ලබන ජාතික ජන බලවේගය රජයේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ සෑබෑ වැරදිකරුවන්ට වඩා තමන්ට එරෙහිව වැඩි චෝදනා එල්ල වන බව පවසන රජයේ ආධාරකරුවන්ගේ සරල සාධාරණීකරණය අසත්‍යයක් බව ඔප්පු කර ඇත.
අතීත අනිසි භාවිතයන් නැවතත් ඉදිරියට ගෙන යාම
මෙම කරුණේ බැරෑරුම්කම සලකා ඉතා විවෘතව පවසන්නේ නම්, අලුතින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සූක්ෂ්ම ලෙස ඇතුළත් කර ඇති අතිශය දරුණු සංශෝධන, නත්තල් උත්සව සමය මධ්‍යයේ වුවද අපට සාමාන්‍ය දෙයක් ලෙස බැහැර කළ නොහැක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (2018) සහ ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත (2023) වැනි පැරණි නීති සම්බන්ධයෙන් ‘ක්‍රමයේ වෙනසක්’ සහිත රජයේ නව අර්ථකථනය ඊට වඩා දරුණ විය නොහැකි බවට වූ අපේක්ෂාවෙන් මුලදී ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත්’ කෙටුම්පත වෙත ප්‍රවේශ වුවද, එම පනත් කෙටුම්පතේ සැබෑ තත්වය මෙයයි.
එම අපේක්ෂාව බිඳ දමමින්, ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ මගින් පුරෝකථනය කරන බියකරු තත්වයන්ගෙන් මිදී ඒම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී. නිදසුනක් වශයෙන්, යම් ‘පුද්ගලයකු’ මෙම නීතිය යටතේ වරදක් කිරීමට සූදානම් වන බව විශ්වාස කිරීමට ‘සාධාරණ හේතු’ ඇති අවස්ථාවක ඔහුට එරෙහිව නිකුත් කළ හැකි ‘සීමා කිරීමේ නියෝග’ පිළිබඳව අවධානය යොමු කරමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීමට බලාපොරොත්තු වන යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ මගින් මෙවැනි නියෝග නිකුත් කිරීමට අවසර ලබා දෙයි.
'යම් පුද්ගලයකු නීති විරෝධී ක්‍රියාවක නියැලී සිටින බවට හෝ ඊට සම්බන්ධ බවට විශ්වාස කිරීමට හෝ සැක කිරීමට අමාත්‍යවරයාට සාධාරණ හේතු තිබේ නම්...' මෙය සිදු වේ (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වැනි වගන්තිය). මෙහි පදනම මත, ඉලක්කගත පුද්ගලයකු තමන් පදිංචි ස්ථානයෙන් බැහැරව ගමන් කිරීම, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව සංචාරය කිරීම වැනි කරුණු මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් සහ පොදු රැස්වීම් සඳහා ද මෙවැනිම තහංචි පැනවිය හැකිය. එහි උපරිම සීමාව දක්වා අනිසි ලෙස භාවිතා කරන ලද මෙම බලතල, දකුණේ (1980 ගණන්වල) දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දහස් ගණනින් රඳවා තබාගෙන සිටි එහි සාමාජිකයන්ට එරෙහිව අසීමිත ලෙස ක්‍රියාත්මක කරන ලදී.
මහජන කනස්සල්ල කෙරෙහි ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ එකඟතාව පළවීම
2018 වසරේදී, වික්‍රමසිංහ රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙවැනි බලතල ලබා දීම දිගටම ඉදිරියට ගෙන ගියේය. පනතේ 82 වැනි වගන්තිය මගින් පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ‘සීමා කිරීමේ නියෝග’ නිකුත් කිරීමේ බලය අමාත්‍යවරයාට පැවරිණි. එය විවේචනය කළ අයට, පීඩාවට පත් පුද්ගලයකුට එවැනි නියෝගවලට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට මතුපිටින් අවස්ථාවක් ලබා දුන්නද, එදා එය සැලකිය යුතු විරෝධයකට තුඩු දුන්නේය. මහජන කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින්, ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත එවැනි නියෝග පොලිස්පතිවරයාගේ නිර්දේශය මත නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීය.
මෙම පනත යටතේ යම් පුද්ගලයෙකු වරදක් කිරීමට උත්සාහ කරන බව විශ්වාස කිරීමට ‘සාධාරණ හේතු’ තිබිය යුතු බවට 80 වැනි වගන්තිය කොන්දේසියක් පැනවූ අතර, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් මෙම බලය භාවිතා කළ යුතු බව අනිවාර්ය කරන ලදී. ඒ සඳහා නිශ්චිත කොන්දේසි සපුරාලිය යුතුව තිබුණි. ඒ අනුව, නියෝගයක් නිකුත් කිරීම යනු එය ‘අවශ්‍ය’ වීම සහ; ‘වරදක් සිදු වීම වැළැක්වීමට’ හා ‘විමර්ශන පැවැත්වීමට’ යටත් විය.
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ සීමිත ආරක්ෂණ ක්‍රමවේද අත්හැර දැමීම
යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ’ 64 (3) වැනි වගන්තිය යටතේ එන ‘සීමා කිරීමේ නියෝග’ පූර්ණ මට්ටමේ තහංචි ඇතුළත් කර ඇත. මේවා මගින් (අ) පදිංචි ස්ථානයෙන් බැහැරව ගමන් කිරීම, (ආ) ශ්‍රී ලංකාව තුළ සංචරණය, (ඇ) විදේශ සංචාර සහ (ඈ) පදිංචි ස්ථානයත් රැකියා ස්ථානයත් අතර සාමාන්‍ය මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම සීමා කළ හැකිය. එමෙන්ම, නියෝගයේ සඳහන් කර ඇති ‘නිශ්චිත පුද්ගලයන්’ සමඟ (ඉ) සම්බන්ධතා පැවැත්වීම හෝ ඇසුරු කිරීම හෝ මෙම දෙකම සම්බන්ධයෙන් සීමාවන් පැනවිය හැකිය.
තවද මෙහි, (ඊ) මෙම පනත යටතේ වරදක් කිරීමට මඟ පෑදිය හැකි නිශ්චිත ක්‍රියාකාරකම්වල නිරත වීම වැළැක්වීම ද ඇතුළත් වේ. පෙර පැවති ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත 2023 හි තිබූ ලැයිස්තුව තවත් පුළුල් කර ඇති යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’, (උ) නියෝගයේ සඳහන් කර ඇති ඕනෑම ස්ථානයකට යාම වැළැක්වීම යන නව සීමාව ද ඇතුළත් කර ඇත. එවැනි නියෝගවල පීඩාවට පත් පුද්ගලයා පොලිස් ස්ථානයකට වාර්තා කළ යුතු බවට වූ කොන්දේසියක් ද ඇතුළත් විය හැකිය. ආරම්භයේදී මාසයක කාලයක් සඳහා නිකුත් කරනු ලබන මෙම නියෝග, මහේස්ත්‍රාත්වරයගේ සමාලෝචනයට යටත්ව උපරිම මාස හයක් දක්වා දීර්ඝ කළ හැකිය.
අයිතිවාසිකම් සඳහා වූ රැකවල් බලහත්කාරයෙන් දුර්වල කිරීමේ අභිලාෂය
ඒ අතරම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ අභියාචනාධිකරණයට අභියාචනා කිරීමේ විධිවිධානය සහ ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ‘සීමා කිරීමේ නියෝගවලට’ එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ අයිතිය යන දෙකම යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ මගින් අමු අමුවේ ඉවත් කර ඇත. පසුගිය සතියේ සවිස්තරාත්මකව සාකච්ඡා කළ පරිදි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ‘නීති විරෝධී ක්‍රියාව’ යන්න සඳහා වන නිර්වචනය එහි සියලු අඩුපාඩු මධ්‍යයේ වුවද, යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ නිර්දේශ කරන ‘වැරදි’ පිළිබඳ දිගු ලැයිස්තුවට වඩා අඩු පරාසයක් සහිත එකකි. මෙම වගන්තිය කෙසේ අනිසි ලෙස භාවිතා කළ හැකිද යන්න සිතා ගැනීම අපහසු කාර්යයක් නොවේ.
යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ’ අනිසි භාවිතයන්ට එරෙහි අවම රැකවල් දුර්වල කිරීම අහම්බයක් විය හැක්කේ කෙසේදැයි අවධාරණයෙන් විමසිය යුතුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව නොසලකා හරිමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක රාජ්‍යය ශක්තිමත් කළ හැකි ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ’ මෙම කනස්සල්ලට හේතු වන මෙම කරුණේ ප්‍රවණතාව අදියර කිහිපයකදී ඔප්පු වී ඇත; ඉඩකඩ සීමිත වීම හේතුවෙන් මින් බොහොමයක් පසුව සාකච්ඡා කළ යුතුව ඇත. මෙවැනි ලිහිල් ස්වභාවයක්, ක්‍රියාත්මක කිරීමේදී දුර්වල වන ‘හොඳ’ විධිවිධාන යොදා ගනිමින් පියවා ගැනීමට උත්සාහ කෙරේ.
උදාහරණයක් ලෙස, ඕනෑම පුද්ගලයකුට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පොලිස්පතිවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයකුට නොඅඩු නිලයක් දරන නිලධාරියකුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිය හැකි බව ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ සඳහන් කරයි. වරදක් සිදු කර ඇති බව විශ්වාස කිරීමට ‘සාධාරණ හේතු’ තිබිය යුතුය. ඒ සඳහා වන හේතු ඉදිරිපත් කළ යුතු අතර ඒවායේ අරමුණ සඳහන් කළ යුතුය. ඉන්පසුව, සැකකරු ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති 'අනුමත රැඳවුම් මධ්‍යස්ථානයක' හෝ ‘අනුමත රැඳවුම් කොන්දේසි’ යටතේ රඳවා තබා ගත හැකිය.
මෙවැනි ආරක්ෂණ ක්‍රමවේදයන් කඩදාසියේ කියවීමට හොඳ දෙයක් ලෙස පෙනුනද, අපගේ අධිකරණ ඉතිහාසය මෙවැනි ආරක්ෂණ ක්‍රියා පටිපාටීන් අමු අමුවේ අනිසි ලෙස භාවිතා කළ අවස්ථා සහ ඒවා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාරෝපණ නිකුත් කරන ලද අවස්ථාවන් එමටය. සැකකරුවන් තමන් ඉදිරියට පමුණුවනු ලබන විට, පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම් අන්ධ ලෙස අනුගමනය කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් දෝෂාරෝපණයට ලක්ව ඇත. ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ වැනි නීති මගින් පොලිස් බලතල විමධ්‍යගත කිරීම අමුතුම ආකාරයේ අනතුරු ඇති කරන්නේ මෙතැනදීය. කෙටියෙන් කිවහොත්, ‘යහපාලනයට සුදුසු ජාතික ආරක්ෂක නීතියක්’ ලබා දෙන බවට පොරොන්දු වෙමින් නිර්මාණය කරන ලද නොසැලකිලිමත් රංගනය අන්ත පරාජයකට පත්ව ඇත.
ඛේදනීය ඉතිහාසයන් නොසලකා හැරීම
මෙම ඛේදනීය ඉතිහාසයෙන් උගත් පාඩම් බලයේ සිටින විට ස්ථිර ප්‍රතිපත්තිමය තීරණ බවට පත් නොවීම කණගාටුවට කරුණකි.




