වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පවසන්නේ යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 ජනවාරි 19 වැනි සඳුදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළ බවයි.

"සුසාන භූමිය පිහිටා ඇති පරිශ්‍රයේ කිසිදු ආකාරයක සංවර්ධනයක් සඳහා අවසර ලබා නොදිය යුතු බවට වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විසින් අද අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළා. කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු ඉඩම පවතින තත්වයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බවට අපි ඉල්ලීම් කළා. අධිකරණයේ අවසරයකින් තොරව අනාගතයේදී කිසිවක් නොකළ යුතු බව මහේස්ත්‍රාත්වරයා නියෝග කරා ."
යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා ඉල්ලා තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල අධිකරණ අමාත්‍යාංශය විසින් ලබා දී තිබුනත් පසුගිය මාස කිහිපය තුළ කැනීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබුනේ එම ප්‍රදේශයට වැසි ඇද හැලීම හේතුවෙනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 2026 ජනවාරි 19 වැනිදා අධිකරණයේ කටයුතු නිමා වීමෙන් පසු යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්, නීතිඥයන්, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන්, නීතිඥයන්, අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුළු කැනීම් විශේෂඥයන් සමග ගොස් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසාන භුමිය නිරීක්ෂණය කළ බවයි.
කැනීම් භුමියේ ඇතැම් ස්ථාන වල ඒ වන විටත් වැසි ජලය රැඳී ඇති ආකාරය පළාත් බද වාර්තාකරුවන් විසින් එහිදි වීඩියෝ ගත කර තිබේ.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 ජනවාරි 19 වැනිදා යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය අසලදී මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් භුමියේ එකතු වී පවතින ජලය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ 2026 පෙබරවාරි 09 වැනිදා ඉවත් කිරීමට තීරණය කළ බවයි.
"කැණීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, එකතු වූ වතුර සිඳී යන තෙක් බලා සිටීම හෝ එකතු වූ ජලය ඉවත් කරන්න ඕන කියන පදනම මත පෙබරවාරි 9 වැනි දින නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සහයෙන් අධිකරණයේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරියේ ජලය බැහැර කිරීමට තීන්දු කරලා තියනවා. ඊට පස්සේ කැණීම් කටයුතු සඳහා දිනය ගැන තීරණයක් ගන්න අධිකරණය විසින් තීන්දු කරලා තියනවා. "

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.




