විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
බුදු සසුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛතාව නොසලකා හැරීම රටේ උත්තරීතර නීතියට සිදුකරන හානියක් බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ ගාල්ල, මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති ගරුතර පැලවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ වින්සත්වර්ගික ගරුතර සංඝ සභාව විසින් "ධර්මකීර්තී ශ්‍රී පියජෝති" යන ගෞරව නාම සම්මුතිය සහිත "ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය" මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති ගරුතර පැලවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය ඊයේ (20) සවස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුරතින් මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේදී සිදුවිණි.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පුර්ණ දේශනය මතු පළවේ.
ගාලු දිසාව කියන්නේ අපේ බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රස්ථානය
'' අද අපේ නායක ස්වාමීන් වහන්සේ වන පැලවත්තේ චන්දිම නායක හිමියන්ට අස්ගිරි පාර්ශවයේ ගාලු දිසාවේ සංඝනායක තනතුරට අදාළ අක්ත පත්‍රය ප්‍රධානය කිරීමේ උත්සවයත් ඊට අදාළ සමරු ඵළකය විවෘත කිරීමේ උත්සවයත් පැවැත්වෙනවා.
මේ වගකීම බාරගත්ත චන්දිම නායක ස්වාමීන් වහන්සේට පළමුවෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබවහන්සේ මේ විහාරස්ථානය වෙනුවෙන් කළ සේවය ගැන අලුතින් කියන්න අවශ්‍ය නැහැ. අද මෙතැනට පැමිණ සිටින සියලුදෙනා ඊට සාක්ෂි දරනවා. ඒ වගේම අද ඔබවහන්සේට ලැබෙන්නේ ගාලු දිසාව තුළ තිබෙන අස්ගිරි පාර්ශවයේ සංඝ නායක තනතුරයි.
විශේෂයෙන්ම ගාලු දිසාව කියන්නේ අපේ බෞද්ධ පුනරුදයට සංඝයාවහන්සේගෙන් මෙන්ම ගිහි අයගෙනුත් සේවය ලැබුණු තැනයි. ඒක අපට අමතක කරන්න බැහැ. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්වහන්සේව සඳහන් කළ යුතුයි. මොකද උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි මේ පුනරුදය ඇති වුණේ. උන්වහන්සේ නොහිටියානම් මේ පුනරුදය නොවෙන්න තිබුණා. උන්වහන්සේට පුළුවන් වුණා එක අතකින් මිගෙට්ටුවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා එකතු කරගෙන පානදුරාවාදය ඇතුළු විවාදවලට නායකත්වය දෙන්න.
අනෙක් අතින් ඕල්කට් මැතිතුමා, විශේෂයෙන්ම ඇමරිකාවේ ෆිලෝසොෆිකල් සංවිධාන මෙහාට ගෙනැල්ලා එකතු වුණා. ඒ වගේම උන්වහන්සේට උදව් කරන්න දකුණු පළාතේ ධානපතියෝ ගණනාවක් එකතු කරගත්තා. ගිහි නායකත්වය වශයෙන් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේත්, එෆ්. ආර්. සේනානායක මැතිතුමාගේ සහයෝගය ලැබුණා. ඒ විතරක් නොවේ අනගාරික ධර්මපාල මැතිතුමාගේත් සහයෝගය ලැබුණා.
මේ කණ්ඩායම එකතු කරගත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි ඩී.බී. ජයතිලක මැතිතුමා, අනගාරික ධර්මපාල මැතිතුමා අතර මත භේද තිබුණත් උන්වහන්සේට පුළුවන් වුණා සියළුදෙනාටම නායකත්වය දෙන්න. උන්වහන්සේට ඒ ශක්තියත් ලැබුණේ මේ ගාලු දිසාවෙනුයි. මන්ද මේ ගාලු දිසාවේ ඒ සඳහා නායකත්වය දෙන ප්‍රධානම නායක ස්වාමීන් වහන්සේලා කිහිපනමක්ම හිටියා. එහෙනම් ගාලු දිස්ත්‍රික්කය කියන්නේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශාල සේවය කළ දිස්ත්‍රික්කයයි. ඔබ වහන්සේට ඊට නායකත්වය දෙන්න දැන් ඒ විශේෂ තනතුර ලැබිලා තිබෙනවා.
මේ බෞද්ධ පුනරුදයෙන් තමයි බුද්ධාගම ඉදිරියට ආවා. 1972 අපේ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේත්, ජේ. ආර්. ජනාධිපති මැතිතුමා එදා විපක්ෂ නායක හැටියටත් බුද්ධාගමට විශේෂ තැනක් ලබාදෙන්න කියා ඉල්ලීමක් කළා. එතුමා පදනම් කර ගත්තේ 1815 දී එංගලන්තේ තුන්වැනි ජෝර්ජ් රජු බාරගත්තා බුදුදහම ආරක්ෂා කිරීමේ වගකීමයි.
අපි දන්නවා කළුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රැජිණ කිව්වා ඒ බෝධිය කපන්න දෙන්න බෑ කිව්වා. ඒ නිසා අද මේ පළාතේ සමහර විහාරස්ථානවල 19 වෙනි සියවසට අයත් බිතු සිතුවම්වල වික්ටෝරියා රැජිණගේ පින්තූර නිර්මාණය කර තිබෙනවා. ඒකට උදාහරණයක් හැටියට කතලුවේ පන්සල පෙන්වාදෙන්න පුළුවනි.
ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියා මමනම් දන්නේ නෑ...
ලංකාවේ විහාර - දේවාලගම් පනත සම්මත කරලා තිබෙන්නේ බුද්ධාගමට දිය යුතු නිසි තැන ලබාදීම නිසයි. ඒකෙන් කියන්නේ විහාරවලට අයිති දේවල් විහාරවලට අයිතියි. දේවාලවලට අයිති දේවල් දේවාලවලට අයිතියි. විශේෂයෙන්ම අපේ බැතිමතුන් ලබාදෙන රත්තරන් බඩු සියල්ලම අයති වෙන්නේ ඒ විහාරයට නැතිනම් ඒ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියා මමනම් දන්නේ නෑ.
මේ දේවල් ඉදිරිපත් කළේ සුද්දන්ගේ කාලේයි. ශ්‍රී ලංකාව ඩොමිනියන් රාජ්‍යයක් වුණාම එංගලන්තේ සිංහාසනයේ හිටපු රජතුමා තමයි අපේ ලංකාවේ රජතුමා වෙන්නෙත්. කින්ග් ඔෆ් සිලෝන්. එතුමාද බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියලා පිළිගත්තා. එතුමා අසනීපයෙන් හිටියේ. එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ දුව දෙවැනි එළිසබත් රැජිණිය ලංකාවේ රැජිණිය හැටියට අපි පිළිගත්තා. එතුමිය 1954 ලංකාවට ඇවිල්ලා බුද්ධාගම ආරක්ෂා කරන එක පිළිගෙන එතුමිය පළවෙනියෙන්ම ගිහින් දළදා මාළිගාවට මල් පූජා කළා. බෞද්ධ නොවන පාලකයින් පවා මේ දේවල් ඉදිරියට ගෙන ගිහින් තියෙනවා.
මේ දේවල් ආරක්ෂා කරන්න තමයි, ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වේ මේක ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕන කියලා. ඒ නිසා ඒක ඇතුල් කළා. සමාජවාදී ජනරජයක් ඇති කළාට ඒ දේවල් ව්‍යවස්ථාවට ඇතුල් කළා. මේක ඇතුල් කළාට පස්සේ 78 ව්‍යවස්ථාවේදී, මාද ඒ සඳහා සම්බන්ධ වු කෙනෙක් වෙනවා, අපි මේ කාරණා එතැනට ඇතුළු කර ජනතාපරමාධිපත්‍ය ජනතාවගේ කැමැත්ත නැතිව ඉවත් කරන්න බැරි බව තහවුරු කළා. එසේනම් පළවෙනි ගන්තිය, දෙවැනි වගන්තිය, තුන්වැනි වගන්තිය, හතරවැනි වගන්ති වල සඳහන් වෙන්නේ ජනමත විචාරණයක් නැතිව ඉවත් කරන්න බැහැ කියලයි.
ඒ වගේම අපි ඒකට ඇතුළුකලා සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණු විදිහට 29 වැනි වගන්තියෙන් ආගමික නිදහස ඇතුළු කළා. මහරැජිණිය පිළිගත්තා ව්‍යවස්ථාවේ නොතිබුණාට 1815 ගිවිසුමෙන් බුද්ධාගම ආරක්ෂා කරන්න උවමනයි කියලා. ඒ නිසා 11 වැනි වගන්තියෙන් ආගමික නිදහස ඇතුළත් කරද්දී ආගමික නිදහස සමගම 9 වැනි වගන්තියෙන් අපි ඇතුල් කරලා තිබෙන්නේ බුද්ධාගම ආරක්ෂා කිරීමටයි. ඒ නිසා මේ දේවල් වෙනස් කරන්න රජයකට අයිතියක් නැහැ. එය වෙනස් කිරීමේ අයිතිය තිබෙන්නේ රටේ ජනතාවටයි.
අපේ සංඝයා වහන්සේලාට මෙන්ම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන ඕනෑම කෙනෙකු ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න විශේෂයෙන්ම දිවුරුම්දී තිබෙනවා. එහෙනම් මේ දේ උල්ලංඝණය කළොත් එහෙම නැතිනම් මීට අදාළව ක්‍රියා නොකළොත් රටේ උත්තරීතරභාවය නැතිකරන වැරැද්දක් වෙනවා. ඒක ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා.
අද අපේ රටේ විවිධ දේශපාලන පක්ෂ ලියාපදිංචි කර තියෙන්නෙත් මේ ව්‍යවස්ථාවට අනුවයි. කවුරුහරි එය උල්ලංඝණය කරනවානම් හැම පක්ෂයකටම යුතුකමක් තිබෙනවා අපේ සංඝයා වහන්සේලා එක්ක එකතුවෙලා මේක ආරක්ෂා කරන්න. අප වෙනත් ආගම්වල නිදහස නැති කරන්න කියන්නේ නැහැ. ඒ ඔක්කොම තියා ගන්න. ඒවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. නමුත් මෙතැන තිබෙන ඓතිහාසික සම්බන්ධකම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා පිළිගත්තා. රටේ ජනතාව පිළිගත්තා. දැන් කාටවත් ඒක අයින් කරන්න බැහැ. එහෙම උනොත් මොකද්ද කරන්නේ කියා අප දැනටම සාකච්ඡා කරගෙන යනවා. පක්ෂ නායකයින් කිහිපදෙනෙක් ගිය සතියේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණගැසිලා තිබුණා. ඒ ගැන මාවත් දැනුවත් කළා. ඒ ගැන අපේ අවධානයත් යොමු වෙනවා කියලා මහානායක ස්වාමීන් වහන්සේලාටයි අනුනායක ස්වාමීන් වහන්සේලාටයි කියන්න කැමතියි.
කෘත්‍රිම බුද්ධිය සහ මනස කියන්නේ මොකද්ද?
ඒ වගේම මම තව එක දෙයක් කියන්න ඕන. ඒ තමයි මා මෙතනට එනකොට පිළිගැනීමේ ගීතයක් සූදානම් කර තිබුණා. ඒක සකස් කරලා තිබුණේ AI වලින්. ඉතින් අපිට මේ බුද්ධාගම ඉදිරියට ගෙනියන්න මේ තාක්ෂණයත් දැන් භාවිතා කරන්න පුලුවන්. කෘත්‍රිම බුද්ධිය සහ මනස කියන්නේ මොකද්ද? මොකද්ද මේ දියුණුව? සමහර කියනවා මේ කෘත්‍රිම බුද්ධිය ආවට පස්සේ ආගම් අවශ්‍ය නැහැ කියලා. අපේ ආගමේ විතරක් නෙමෙයි විවිධ ආගම්වල මේ ප්‍රශ්න තිබෙනවා.
විශේෂයෙන්ම බැලුවම ඇමරිකාවේ කොටස් වෙළදපොලේ වැඩියෙන්ම මුදල් භාවිතා වෙන්නේ කෘත්‍රිම බුද්ධිය ගැන. AI සඳහා ඩොලර් බිලියන 300 ක් දැනට යොදවලා තිබෙනවා. අපේ දළ දේශීය නිෂ්පාදනය වාගේ හතර පස් ගුණයක් වෙනවා. චීනයත් ඒ වගේම යොදවනවා. මේ රටවල් දෙනෙක් තමයි, කෘත්‍රිම බුද්ධිය සඳහා තුනෙන් දෙකක් වියදම් කරන්නේ. මෙච්චර මුදලක් වියදම් කළාම යම් කිසි ප්‍රතිඵලයක් එනවා. මොකද්ද ඒ ප්‍රතිඵලය. ඇමරිකාව තුළ තිබෙන මුදල්වලට වුවමනා ප්‍රතිලාභය නොලැබුනොත් සම්පූර්ණ කොටස් වෙළඳපොල කැඩෙන්න පුළුවන් කියනවා.
කොටස් වෙළඳපොල අපි පැත්තකින් තියමුකෝ අපි බලමු ධර්මය ගැන. මෙහෙම පසුබිමක අපි කොහොමද අපේ ධර්මය ආරක්ෂා කරන්නේ. දැනට මේවට වැඩසටහන් තායිලන්තය නිර්මාණය කරගෙන යනවා.
දවසක් මම වාඩිවෙලා ඉන්න ගමන් බැලුවා මේ ගැන හොයලා බලන්න. මම Chatgpt කරන්න දක්ෂයෙක් නොවෙයි. ඒත් මා ප්‍රශ්නයක් ඇහුවා Chatgpt ගෙන්. මම අපේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ පළවෙනි වාක්‍ය ගැහුවා. ඒ දාලා ඇහුවා “මේ අනුව මනසද උසස්, නැතිනම් කෘත්‍රිම බුද්ධිය කියලා. “ ඉතින් Chatgpt පිළිගත්තා මනස තමයි උසස් කියලා. කෘත්‍රිම ඥානය කියන්නේ සීමා සහිතයි.
නමුත් දැන් මෙහෙම උනත් අනාගතයේදී කොහොම වෙයිද අපිට තාම කියන්න බැහැ. දැන් ඩොලර් බිලියන 300ක් 600 ක් ට්‍රිලියනයක් වියදම් කරනකොට මොකද වෙන්නේ? ඒ පර්යේෂණවලත් ඒ වැඩකටයුතුවලත්, ඒ කියන්නේ ඒ වාණිජ වැඩකටයුතුවලත් බුදුදහම අතරත් තිබෙන සම්බන්ධය කුමක්ද? අනෙක් ආගම් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ඒ ගැන අපේ අවධානය යොමු වෙන්න ඕන.
අනෙක් ආගම් එක්කත් කතා කරන්න. කෘත්‍රිම බුද්ධිය සහ ආගම, ධර්මයේ සම්බන්ධයක් තියනවද නැද්ද කියලා. ඒක ඉතාමත් වැදගත් කාරණයක් කියා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පියසේන ගමගේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.




