F මම වැරැද්දක් කරලා තියෙනවා නම් අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි යන්න පුළුවන්!
තමන් නීතියට ඉහළින් සිටන අයකු නොවන බවත්, තමන් වැරැද්දක් කර ඇති නම් ඊට එරෙහිව ඕනෑම අයකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ පවසයි.
තමා හමුවීමට පැමිණි නීතිඥවරුන් පිරිසක් හමුවේ අද (21) ඔහු එසේ සඳහන් කර ඇත.
නීතිපති පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් හමුවී කතාබහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයේ සංසරණය වන අතර ඔහු පවසන්නේ, "ඔබලා නීතිය ගැන දන්නවා. මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ," යනුවෙනි.
"මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා, අභියාචනාධිකරණය තියෙනවා. කරුණාකරලා ඒ තැන්වලට ගිහින් අභියෝග කරන්න" නීතිපතිවරයා වැඩිදුරටත් පවසයි.
රනිල්ට පක්ෂග්‍රාහිව කටයුතු කරන බවට චෝදනා !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා, හිටපු ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහිව කටයුතු කරන බවට චෝදනා කරමින් ආණ්ඩුවට හිතවත් පාර්ශව මේවනවිට ඔහුට එරෙහිව පුළුල් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භකර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධව නීතිපති දෙපාර්තුමේන්තුව තුළ බෙදුණු මතයක් පවතින බව එම පිරිස් පවසති. එක් පිරිසක් නඩුව ඉදිරියට ගෙන යා හැකි බවටත්, අනෙක් පාර්ශවය නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් තර්ක කරන බව සමාජ මාධ්‍ය සටහන් තුළ සඳහන්ව තිබේ.
ඒ අතර පාරින්ද රණසිංහ නීතිපති ධූරයෙන් ඉවත් කළ යුතු බවට විරෝධතාවක් ද අද (ජන: 21) කොළඹදී පැවතිණි.
නීතිපතිවරයාට දේශපාලන බලපෑම්
මේ අතර නීතිපතිවරයාට පක්ෂව ද ඇතැම් කණ්ඩායම් අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.
නීතිපතිවරයාට පක්ෂපාතී ලෙස අදහස් දක්වන එවැනි පිරිස් පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට දේශපාලන බලපෑම් එල්ල කරමින් එම තනතුරේ ස්වාධීනත්වයට හානි කිරීමට කටයුතු කරන බව ය.
නීතිපති වැරදි නම් උසාවි යන්න - නීතිඥ සංගමය
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ, නීතිපතිවරයාගේ බලතලවලට අනවශ්‍ය අයුරින් අත නොතබන බව සහතික කිරීම රජයේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද යුතුකම බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය පිරිහීමකින් තොරව ආරක්ෂා කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ ලේකම් චරිත් ගල්හේන ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක එබව සඳහන් වේ.
පසුගිය කාලසීමාවේ නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඇතැම් සටහන් පිළිබඳව තමන් දැඩි කනස්සල්ල පළ කරන බවත්, එම කරුණු නීතිපති තනතුරේ ස්වාධීනත්වයට එල්ල කරන අසාධාරණ බලපෑමක් බවත් එහි දැක්වේ.
නීතිපතිවරයා සතු අභිමතය අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු පාදක කරගනිමින්, යම් පුද්ගලයකුට එරෙහිව නඩු පවරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ සුවිශේෂී බලය නීතිපතිවරයා සතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. විමර්ශන කරුණු නීත්‍යනුකූලද යන්නත්, ඒවා චෝදනා නැඟීමට තරම් ප්‍රමාණවත් ද යන්නත් තීරණය කරනු ලබන්නේ නීතිපතිවරයා විසිනි. නීතිපතිවරයාගේ එම තීරණයක් වෙනස් කළ හැක්කේ අභියාචනාධිකරණයේ ‘රිට්’ නඩුවකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘මූලික අයිතිවාසිකම්’ නඩුවකින් පමණක් බව ද එම නිවේදනය සිහිපත් කරයි.
විවේචන සහ නීතියේ පාලනය අධිකරණ නිලධාරීන් සහ නීතිපතිවරයා ගන්නා ඇතැම් තීරණ ‘ජනප්‍රිය මතය’ සමඟ එකඟ නොවිය හැකි බවත්, එහෙත් ඔවුන් එම තීරණ ගනු ලබන්නේ නීත්‍යනුකූල පදනමක පිහිටා බවත් නීතිඥ සංගමය පවසයි.
රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට ඕනෑම අයකුට අයිතියක් තිබුණ ද, එම විවේචන නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට හානි නොවන අන්දමට සහ නීතියේ පාලනය තහවුරු වන අයුරින් සිදුකළ යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ඒ අනුව, නීතිපති ධුරය ඇතුළු ස්වාධීන ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වීම රජයේ වගකීමක් බව එම නිවේදනයේ සඳහන් වේ.
සබැඳි පුවත් :
නීතිපතිට එරෙහිව හා පක්ෂව විරෝධතා !
නීතිපතිගේ ස්වාධීනත්වයට හානි නොකරනු ! - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය
නීතිපති පාරින්ද රණසිංහ ගැන වාදයක් ! - විවාදාත්මක මත තුනක් !!




