The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිපති එලවීමට කෙරෙන විරෝධතා හමුවේ ඔහුට සහයට අලුත්කඩේ නීතිඥ පිරිසක්

T

The Leader Desk

January 22, 2026 • 3:55 AM

නීතිපති එලවීමට කෙරෙන විරෝධතා හමුවේ ඔහුට සහයට අලුත්කඩේ නීතිඥ පිරිසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මේකට එරෙහිව නීතිපති විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විශාල පිරිසක් බයවෙලා ඇවිල්ලා තියනවා.
  • " ජනවාරි 20 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන විවේචන සහ මැදිහත්වීම් ‘අසාධාරණ’ යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කර තිබුනි.
  • එම විශේෂ නිවේදනය මගින් නීතිඥ සංගමය අවධාරණය කර තිබුනේ , නීතිපතිවරයා විසින් සිදු කරනු ලබන "අර්ධ-විනිශ්චයකාරී" (Quasi-Judicial) කාර්යභාරයට බාධා කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනයක් බවයි.
  • නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙස රජීව අමරසූරිය හා රජීව ගල්හේනගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනයෙන් ජනාධිපතිගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමාන නීතිපති පාරින්ද රණසිංහට ධුරයෙන් වහා ඉවත් වන ලෙස බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් 2026 ජනවාරි 21 ක් වැනි බදාදා පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී පැවැත් වු  නිහඬ විරෝධතාවයට එක්ව සිටි මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර චෝදනා කළේ නීතිපතිට එරෙහිව යුක්තිය ඉල්ලා සිටින ජනතා නැගිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයද බියට පත්ව ඇති බවයි.

"මේකට එරෙහිව නීතිපති විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විශාල පිරිසක් බයවෙලා ඇවිල්ලා තියනවා. ඒ කියන්නේ අධිකරණ කටයුත්තක් ඉතාම අසාධාරණ විදිහට පැහැදිලිවම  සිද්ධ වෙද්දි ඒකට විරුද්ධව ඉදිරියට එන ඒ අම්මලාට, ඒ නීතිඥවරුන්ට ඒ ප්‍රශ්නය මතු කරන වින්දිතයන්ට බය වෙලා තියනවා. මොකද මේ ගොල්ලොත් එක්ක විශාල සෙනගක් එකතු වෙයි කියලා. "

ජනවාරි 20 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන විවේචන සහ මැදිහත්වීම් ‘අසාධාරණ’ යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)  දැඩි කනස්සල්ල පළ කර තිබුනි.

එම විශේෂ නිවේදනය මගින් නීතිඥ සංගමය අවධාරණය කර තිබුනේ , නීතිපතිවරයා විසින් සිදු කරනු ලබන "අර්ධ-විනිශ්චයකාරී" (Quasi-Judicial) කාර්යභාරයට බාධා කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනයක් බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙස රජීව අමරසූරිය හා රජීව ගල්හේනගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනයෙන් ජනාධිපතිගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

නීතිපතිවරයා යනු "ජනප්‍රිය මතය" ක්‍රියාත්මක කරන්නකු නොවේ

2026 ජනවාරි 21 ක් වැනි බදාදා පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී පැවැත් වු  නිහඬ විරෝධතාවයට එක්ව සිටි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අවධාරණය කළේ අධිකරණය පවා මහජනතාවගේ බලයට යටත් බවයි.

" ඔවුන් කියනවා නීතිපති කියන්නේ අර්ධ අධිකරණමය ආයතනයක් කියලා. අපි කියනවා අර්ධ අධිකරණමය ආයතනයක් විතරක් නෙමෙයි අධිකරණය පවා මහජනතාවගේ බලයට යටත්. මේ ආයතන තියෙන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න. මේ වෙද්දී නීතිපති දෙපාර්තමේන්තුව නඩු දාස් ගණක ෆයිල් ගොඩ ගහලා තියනවා. ඒ වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයට බාධා වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියනවා. දෙපාර්තමේන්තුවේ දුෂිත ක්‍රියා කළාපයට එරෙහිව තමයි මේ ජනතාවගේ හඩක් නැගෙන්නේ."

නීතිඥ අචලා සෙනවිරත්න හා ආරක්ෂක අංශ නිලධාරීන් චෝදනා ලබන අපරාධ නඩුවක වින්දිත දෙමාපියන් කිහිප දෙනකු විසින් සංවිධානය කර තිබු විරෝධයේ මුලික අරමුණද මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර එහිදී පැහැදිලි කර තිබුනි.

" මේ විරෝධයේදී මතු කරන ප්‍රධානම කාරණය තමයි නාවික හමුදාවේ ඒ කණ්ඩායම විසින් ගන්සයිට් කදවුරේ එතන සිද්ධ වෙච්ච අපරාධ ක්‍රියාවලියට අදාලව සිද්ධ වෙන නඩු කටයුතු කිසිදු පසුබෑමක්, බාධාවක් තොරව ඉදිරියට කරගෙන යන්න ස්වාධිනව කරගෙන යන්න කියලා."

ස්වාධින ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිපති  ස්වාධින විය යුත්තේ ජනතාවට බව මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ජනවාරි 21 ක් වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී පැවැත් වු  විරෝධතාවයේදී දැඩිව අවධාරණය කර තිබුනි.

" නීතිපති ස්වාධිනයි, නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධින ආයතනයක්. නීතිපති දෙපාර්තමේන්තුවට හොරෙන්,  රනිල් වික්‍රමසිංහගේ ලෝයස්ලා ගිහිල්ලා හොරෙන් ඇතුලේ මීටින් පවත්වලා, නඩු වලට බලපෑම් කරන්න බෑ. ඒක ස්වාධින ආයතනයක් විය යුතුයි. රනිල් වික්‍රමසිංහගේ නඩු වලට බලපෑම් කරන්න බෑ. ඒක ස්වාධින ආයතනයක් විය යුතුයි. හිටපු නාවික හමුදාපතිවරුන් බේරන්න ඒ නාවික හමුදාපතිවරුන්ගේ උවමනාවන්ට නීතිපති කටයුතු කරන්න බෑ. ඒක ස්වාධින ආයතනයක් විය යුතුයි. එස්.ටී.ඒෆ්. එකෙන් දණ ගස්සලා වෙඩි තියලා මරණ මිනිස්සුන්ගේ ඒ වෙඩි තියපු සිදුවීම් වලට යුක්තිය ඉටු නොකර එස්.ටී.ඒෆ් එකේ උවමනාවට කටයුතු කරන්න බෑ. මොකද නීතිපති ස්වාධින ආයතනයක් විය යුතුයි. නීතිපති ස්වාධින විය යුත්තේ ජනතාව වෙනුවෙන්."




ජනවාරි 20 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සදහන් කර තිබුනේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ මහජන මතය හෝ හැඟීම් මත නොව, ඉදිරිපත් කර ඇති සාක්ෂිවල නීතිමය වලංගුභාවය මත පමණක් බවයි. "නීතිමය තීරණ සමහර විට ජනප්‍රිය මතයට වඩා වෙනස් විය හැකියි. නමුත් නීතියේ ආධිපත්‍යය පවතින්නේ එවැනි තීරණ 'සමාජ මාධ්‍ය නඩු විභාග' වලින් ආරක්ෂා කිරීමටයි.

සෑම පුරවැසියකුටම තමන්ට එරෙහිව හෝ තමන් විසින් කරනු ලබන පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාධාරණ සහ කඩිනම් පරීක්ෂණයක් ලැබීමට අයිතියක් ඇති බව සදහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය  නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුත්තේ එමගින් සමස්ත පුරවැසියන්ටම නීතියේ රැකවරණය සහතික වන බැවින් යැයි සදහන් කර තිබේ.

නීතිපතිවරයාගේ තීරණයක් අසාධාරණ යැයි යමකු සිතන්නේ නම්, ඒවා විවේචනය කිරීමට පුරවැසියාට අයිතියක් තිබුණද, එය කළ යුත්තේ නීතිමය රාමුව තුළ බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය   නීතිපතිවරයාගේ තීරණ අභියාචනාධිකරණය හමුවේ 'රිට්' ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 'මූලික අයිතිවාසිකම්' පෙත්සමක් මගින් අභියෝගයට ලක් කිරීමට ඕනෑම අයකුට හැකියාව පවතින බවද පෙන්වා දී තිබුනි.

තුනෙන් දෙකේ ජනමතයක් සහිතව බලයට පත්වී අවුරුද්දකට වැඩි කලක් ගතවීත්, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි යුක්තිය ඉටු කිරීමට පමා වීම ගැන  ජනපතිගේ  සහ අධිකරණ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයද නීතිපති විරෝධී උද්ඝෝෂණයේදී දෝෂ දර්ශනයට ලක් කර තිබුනි.

"නීතිපති කියන්නේ පාර්ලිමේන්තුවේ අධිකරණමය බලයකින් පැන නගින ආයතනයක් නෙමෙයි . නීතිපති කියන්නේ විධායකය හරහා බලය පැන නගින ආයතනයක්. එතකොට විධායකය වග කියන්න ඔන නඩු පැවරීම් කටයුතු වලට. ඒ නිසා මේක ජනාධිපතිවරයාගේ වගේම අධිකරණ ඇමැතිවරයාගේ වගකීමක් හැටියට සලකන්න ඕනේ. ඔබ පොරොන්දු වෙලා ආවනම් යුක්තිය ඉටු කරන්න දැන් අවුරුද්දකටත් වැඩිය ගිහිල්ලා තියනවා. තවමත් යුක්තිය නැහැ. ඒ නිසා මේ ආයතන ස්වාධින නෑ. මේ ආයතන පාර රාජ්‍යට සම්බන්ධයි. මේ ආයතන අපරාධ කරුවන්ට සම්බන්ධයි. ඔවුන් ස්වාධින නැ. ඔවුන් වැඩ කරන්නේ අපරාධ කරුවන්ට උවමනා විදිහට කියලා ඉතාම පැහැදිලිව කියනවා," යි මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ප්‍රකාශ කළේය.

නීතිපතිගේ ක්‍රියා කලාපය විවේචනයට හසුවීමෙන් අනතුරුව පිහිටුවා ගන්නා ලද Free Lawyers සංවිධානයේ ඉදිරි පෙළ නියෝජිත ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥයන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපතිවරයාට සහාය පලකොට තිබුනි.

සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයාට හා නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් ප්‍රකාශන දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව සිය  සංවිධානය නිරීක්ෂණය කර ඇති අතර  එවැනි අසත්‍ය හා උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය හා සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවත් එම නීතිඥ කණ්ඩායම නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය මුහුණු පොතෙහි සටහන් තබා ඇත්තේ විදේශගත ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම මෙරට යූටියුබ් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මෙම ක්‍රියාවලට සක්‍රීයව දායක වෙමින් සිටින බව නීතිඥයන් විසින් නීතිපතිවරයාට දන්වා සිටි බවයි.

"රනිල්ගේ නඩුව දියාරු කිරීමේ නීතිපති වෑයම පරාජය වන ලකුණු! රනිල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට?" යැයි ආරම්භක සටහනක් තබමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු නායකයකු වන විදේශගත මාධ්‍යවේදී සනත් බාලසූරිය නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණ මාලාවක් යහපාලන සමයේ හිටපු ආණ්ඩුකාරයා ඇතුළු නීතිපතිට සහාය දක්වන නීතිඥ කණ්ඩායමේ විරෝධයට හේතුවූ බව පෙනෙන්නට තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් සඳහා මහජන මුදල් වැයකොට ඇති බවට සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩු පැවරීම මගහරිමින් සිටින බව ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියාගේ ප්‍රධාන චෝදනාවකි.

කනිෂ්ට පාරින්ද රණසිංහ 2024 ජූනි මාසයේදී නීතිපති ධුරයට පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසිනි.

තමන්ට සහාය දක්වන්නට පැමිණි නීතිඥ කණ්ඩායම හමුවේ නීතිපතිවරයා පවසා තිබුනේ තමා නීතියට ඉහළින් නොසිටින බැවින් තමා වරදක් කර ඇතිනම් එය  ඉහළ උසාවියේ අභියෝගයට ලක් කරන ලෙසයි.

“ඔහෙලා නීතිය ගැන දන්නා උදවිය. මම ඉන්නේ නීතියට ඉහලින් නෙවෙයි. මං වැරද්දක් කළොත් ඇපීල් කෝට් එක තියෙනවා, සුප්‍රීම් කෝට් එක තියෙනවා. එහෙට ගිහින් අභියෝග කරන්න”

2026 ජනවාරි 21 වැනි බදාදා  පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය සමීපයේ දියත් වු විරෝධතාවයට ආණ්ඩුවේ සම්බන්ධතාවක් ඇතැයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ඕනෑම අයකුට අයිතියක් ඇති බවයි. 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...