හිටපු ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙම නඩුව ගොනුකළ බවද ඔහු පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අනූෂා සම්බන්ධප්පෙරුම මෙම කරුණු ඉදිරිපත් කළාය.
ධම්මික රණතුංග සැකකරුට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා විත්තිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම කරුණු ඉදිරිපත් කළාය.
නීතිඥ අනූෂා සම්බන්ධප්පෙරුම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරුවන් සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදු කරන්නේ නම් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.
2017 - 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් (ඇමෙරිකන් ඩොලර් 4716957) සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට ඉදිරිපත් කොට ඇත.
ධම්මික රණතුංග සැකකරුගේ බිරිඳගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීමට අවශ්‍ය බැවින් ඊට ඉඩ ලබා ගැනීම සඳහා මෙම ඇප ලිහිල් කිරීමේ ඉල්ලීම සිදු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකරුට අධි චෝදනා ගොනුකොට ඇත්නම් ඒ සම්බන්ධයෙන් එම අධිකරණයට ඉල්ලීම් කරන බවද නීතිඥවරයා පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර කරුණු මාර්තු 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
( lankadeepa | රෝෂන් තුෂාර)




