ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී අද (23) අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර එබව සඳහන් කළේය.
'' නීතිපති තනතුර වසර 100කට වඩා පැරණි නීති පද්ධතියේ අපරාධ සඳහා යුක්තිය පසිඳලීම (Linchpin of the Criminal Justice System) සඳහා අවශ්‍ය වැදගත් තනතුරක් වේ. එම කර්තව්‍ය නීතියේ ආධිපත්‍යයට අනුව ඉටු කිරීමට නම් එහි ස්ථාවත්වය සහ ස්වාධීනත්වය (Independence & Autonomy) ආරක්ෂා විය යුතුය. නීත්‍යනුකූල රාමුව තුළ සෑමවිටම කරුණු සහගතව කටයුතු කළ යුතුය. නීතියෙන් ලබා දී තිබෙන අභිමානය භාවිතා කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍යයට අනුවයි. ඒ අනුව, මා පහත සඳහන් ප්‍රශ්න යොමු කරමි.
විපක්ෂ නායකවරයා එසේ සඳහන් කරමින් ස්ථාවර නියෝග 27 (2) යටතේ අසන ලද ප්‍රශ්න සහ ඒවාට ඇමතිවරයා ලබාදුන් පිළිතුරු මතු පළවේ.
01. නීතිපති ධුරය රජයේ ස්වාධීන ධුරයක් වන්නේද ?
02. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරනු ලබන නිර්දේශයක් සභාව අනුමත කිරීමෙන් පසුව පමණක් නීතිපතිවරයා පත් කරනු ලබන්නේද ?
පිළිතුර :
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නීතිපති ධූරයට යම් පුද්ගලයකු නිර්දේශ කරනු ලැබ‚ එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව පමණක් නීතිපති ධූරයට පුද්ගලයින් පත් කිරීම ජනාධිපතිවරයාට විසින් සිදු කරනු ලැබිය යුතුය.
තවද‚ ඉහත 41ඇ(1) ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත පමණක් නීතිපති ධූරයට පුද්ගලයෙකු පත්කල යුතු යැයි වන ප්‍රතිපාදනය, 61ඉ (ආ)ව්‍යවස්ථාව යටතේ ද තහවුරු කර ඇත.
03. ඒ අනුව නීතිපතිවරයාගේ ස්වාධීනත්වය පාරිශුද්ධත්වය (Sanctity of independence) ව්‍යාවස්ථාව මඟින් සහතික කොට ආරක්ෂා කර ඇත්ද?
පිළිතුර :
ඔව්.
විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද 41ඇ(1) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා පත් කිරීමට ප්‍රතිපාදන යෙදීමේ අරමුණ මෙම ධූරයේ පත්වීම සෘජු විධායක බලපෑමෙන් සිදුවන පත්වීමකින් ඉවත් කොට ස්වාධීනපත්වීමක් බවට පත් කිරීම බව පැහැදිලි වේ.
ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය‚ මෙම ධූරය දරන තැනැත්තාට අපක්ෂපාතීව සහ ස්වාධීනව ධූරයක් හෙබවීමට අවශ්‍ය වන ආරක්ෂාව සහ පරිසරය නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර ඇති ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී පරීක්ෂාවක් ලෙස දැක්වේ.
04. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වන ආකාරයට ස්වාධීනව, විශේෂඥ දැනුම මත නීතිපතිවරයාට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම රජය විසින් සලසා දී තිබේද? දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට අවකාශ ලබා දී තිබේද?
පිළිතුර :
ඔව්.
වර්තමාන රජය යටතේ නීතිපති ධූරයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා වත්මන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හා නෛතික විධිවිධාන යටතේ වගකීමෙන් කටයුතු සිදු කරනු ලබයි.
05. 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටි) පනතේ 03 වැනි වගන්තියේ සඳහන් පරිදි පොලිස්පති හා නීතිපති ධුර දරන්නන් අනිසි චෝදනාවලට ලක්වීම වැළැක්වීමට රජය විසින් කුමන පියවර ගෙන ඇත්ද?
පිළිතුර :
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 3 වන වගන්තියේ නීතිපති ධූරය දරන තැනැත්තකු ඉවත් කිරීම සිදුකර හැකි හේතු දක්වා ඇති අතර, එවැනි යම් හේතුවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන දැනුවත් කිරීමක හෝ චෝදනාවක නිසි අනිසි බව එකී පනතේ 4(1) වන වගන්තිය යටතේ සලකා බලා තීරණය කල හැකි වනුයේ ජනාධිපතිවරයාට වේ.
එලෙස එවැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණය කල යුත්තේ කුමන ක්‍රමවේදයක් යටතේද යන්න පනතේ 4(2) වන වගන්තියේ දක්වා ඇත.
06. නීතිපතිවරයාගේ රාජකාරී ඉලක්ක කොට ගෙන සෘජුවම හා වක්‍රව සංවිධානාත්මක ලෙස විවිධ චෝදනා රැල්ලක් නැගී ඇති බව රජය පිළිගන්නේ ද? ඒ සම්බන්ධ රජයේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර :
රජයේ ඕනැම ධූරයක් දරන පුද්ගලයෙකුගේ නිලයේ ස්වාධීනත්වය පසෙකලා, ඔවුන් රාජකාරී කටයුතු සිදු කිරීම පිළිබඳව බාහිර පුද්ගලයින් විසින් කලින් කලට විවිධ අවබෝධයන් මත පදනම්ව විවේචනවලට බඳුන් කරනු ලැබේ.
ඒ අනුව‚ මේ දින වල ජනමාධ්‍යවල නීතිපතිවරයා විසින් සිදුකරනු ලබන රාජකාරී ඉලක්ක කොට විවිධ මත ඉදිරිපත් වන බව රජය විසින් නිරීක්ෂණය කර ඇති වුවද එවැනි මතයන් හි සත්‍යතාවය හෝ අසත්‍යතාව පිළිබඳව තහවුරු කර නොමැත.
07. නිතිපති ධුරයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි ඉහත සංවිධානාත්මක ප්‍රහාර නැවැත්වීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද?
පිළිතුර :
එසේ ඉදිරිපත් වනු ලබන මතයන් මඟින් යම්ලෙසෙක නීතිපති ධූරයේ ස්වාධීවත්වයට බලපෑමක් වන බවට රජය විසින් නිරීක්ෂණය කරනු ලබන ඕනෑම අවස්ථාවකදී එම ධූරයේ ස්වාධීවත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වනු ලබන‚ රටේ පවතින නීතියට අනුකූලව උපරිම ක්‍රියා මාර්ග ගැනීමට රජය කටයුතු කරනු ලැබේ. මේ වන විට වෙනත් රජයන්වල වගේ නඩුකාරතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගහන්නේ නැහැ. නඩුකාරවරුන්ට විරුද්ධව පෝස්ටර් ගහන්නේ නැහැ. අගවිනිසුරු ශිරාණී බණ්ඩාරණායක මැතිණියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. මේ රජය ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. නීතියට අනුව තමයි ක්‍රියා කරන්නේ.
''වැඩකරන කොට වළං කඩේට පැන්න ගොනා වගේ ඇණ ගෙන යන්නෙත් නැහැ''
අතුරු ප්‍රශ්න :
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද අතුරු ප්‍රශ්න සදහා ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, හර්ෂණ නානායක්කාර විසින් පිළිතුරු ලබා දෙන ලදී.
ප්‍රශ්නය -
ඔබතුමාගේ පිළිතුරට ස්තූතියි. නීතිපතිවරයාගේ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවාට. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීතිපතිවරයාගේ තීන්දු තීරණ ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවාද ?
පිළිතුර -
''නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය වෙනුවෙන් අපේ 159 දෙනාත් ජනාධිපතිතුමාත් පෙනී සිටිනවා. ඒකයි ක්‍රමය. සමාජ මාධ්‍යවල තහවුරු නොකරගත් ගොඩාක් මත යනවා. විපක්ෂ නායකතුමා ගැනත් විවිධ කථා යනවා. විපක්ෂ නායකතුමා සම්බන්ධව අලි මන්තර කථා යනවා. විපක්ෂ නායකකම ළමයෙකුට දුන්නා නම් හොදයි වගේ කතා කියනවා. මේ රජය යටතේ නීතිපතිවරයාගේ පමණක් නොවෙයි ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා.
මට ජනාධිපතිතුමා ගැනත් මගේ කණ්ඩායම ගැනත් විශ්වාසයි. මට මේ ඇමතිකම ලබාදී තිබෙන්නේ සමාජ මාධ්‍ය මගින් නොවේ. ගරු ජනාධිපතිතුමායි. මේ රජය යටතේ නීතිපතිවරයාගේ පමණක් නොවේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය මෙන්ම නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මොන තනතුරේ හිටියත් කොහේ හිටියත් වැරදි කරනවා නම් පුද්ගලයින් ආරක්ෂා කරන්න අපි පැකිලෙන්නේ නැහැ. වැඩකරන කොට වළං කඩේට පැන්න ගොනා වගේ ඇණ ගෙන යන්නෙත් නැහැ.''




