මුණ ගැසීමට ලොව පුරා සරණාගතයන්ගේ රක්ෂාවරණය සැලසීම බාරව සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනයට ආණ්ඩුව අවසර දී නැති බව අනාවරණය වී තිබේ.
මියන්මාර යුද්ධයෙන් පලා යද්දී මුලතිව් මුහුදු තීරයේ අතරමංව සිටියදී 2024 නොවැම්බරයේදී ධීවරයන් විසින් ගොඩට ගෙන එන ලද රොහින්ග්‍යාවරුන් පිරිසක් තවමත් රඳවා සිටින්නේ මුලතිව් ගුවන් හමුදා කඳවුරේය.
අනුර කුමාර දිසානායක පාලන සමයේ ශ්‍රී ලංකාවට ගොඩබට පළමු යුද අනාථයන් කණ්ඩායම පිළිබඳව සොයා බලා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය වෙතින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කොට ඇතත් ඒ සඳහා නිල අවසරයක් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR) මේ දක්වා ලැබී නැත.
“එම කණ්ඩායමේ අවශ්‍යතා, අන්තරායකාරී තත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා කරන ඉල්ලීම් තක්සේරු කිරීම පිණිස ප්‍රවේශ වීමට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR ) දිගටම නිල වශයෙන් ඉල්ලීම් කරමින් සිටියත්, මේ වනතෙක් එම අවසරය ලැබී නොමැත ” යැයි බැංකොක් හි UNHCR කාර්යාලයේ ප්‍රකාශිකා මරිකෝ හෝල් ‘ද ලීඩර්’ හා පැවසුවාය.
"මේ කණ්ඩායමේ සුබ සාධනය පිළිබඳව අපි දිගටම අවධානයෙන් සිටින අතර, විශේෂයෙන්ම එය කාන්තාවන්, දරුවන් සහ වියපත් පුද්ගලයන් සම්බන්ධයෙන් බවද පැවසිය යුතුය. මෙම රැකවල් පතන්නන්ගේ මානවීය හා උපකාරක අවශ්‍යතාව සාධනය කොට ඔවුන්ගේ ජාත්‍යන්තර ආරක්ෂක අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා ඔවුන් හමුවීමට සරණාගකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට අවසර දී ඔවුන් රැඳවුමින් නිදහස් කරන ලෙස ශ්‍රි ලංකාවේ රජයෙන් උදක්ම ඉල්ලා සිටිමු," යනුවෙන්ද ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ සන්නීවේදන නිලධාරිනී හෝල් විද්‍යුත් තැපෑලෙන් දන්වා සිටියේ අප විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර වශයෙනි.
ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින රොහින්ග්‍යාවරුන් පිළිබඳව සොයා බලන්නට ශ්‍රී ලංකා රජය වෙතින් තවමත් නිසි අවසරයක් ලැබී නැතැයි සරණාගතයන් නියාමනය කිරීම පිළිබඳ ලොව ප්‍රධානතම සංවිධානය පවසන විට, ජාතික මානව හිමිකම් කොමිසම ද කියා සිටින්නේ අදාල විශේෂඥතාව සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත්වීමට රජය තවදුරටත් කල් නොයවා ඉඩ දිය යුතු බවයි.
"සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂඥ දැනුම තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමට. ඒ නිසාමයි ජාතික මානව හිමිකම් කොමිසම විදිහට අපිත් දිගින් දිගටම රජයෙන් ඉල්ලා හිටියේ තවත් කල් ගන්නේ නැතුව වහාම මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දක්වන්න යි කියලා. මොකද මේක ඉතාම බරපතල තත්වයක්," යනුවෙන් කියා සිටියේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්, ආචාර්ය ගෙහාන් ගුණතිලක යි.
යුද වින්දිතයන්ට අපරාධකරුවන් සේ සැලකීම
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක විසින් අවධාරණයෙන් යුතුව පවසනු ලැබුවේ නිදහස් කර හැරීමේ දින නියමයකින් තොරව හමුදා කඳවුරක රඳවා සිටින්නේ යුද පීඩිත වින්දිතයන් මිස අපරාධකරුවන් නොවන බවයි.
"මේ මිනිස්සු වින්දිතයන්. ඒත් දැන් සැලකුම් ලබන්නේ වින්දිතයන් විදිහට නෙමෙයි අපරාධකරුවන් විදිහට. ඒක හරිම කණගාටුදායක දෙයක් " හෙතම කීය.
අබලන් බහු දින බෝට්ටුවක නැගී යාත්‍රා කරමින් සිටියදි 2024 දෙසැම්බර් 19 වන දින මුලතිවු වෙරළ තීරයට ගසා ගෙන පැමිණ සියයකට අධික රොහින්ග්‍යාවරුන් පිරිස පලමු කොට බේරාගෙන සුබ සාධන පහසුකම් සපයන ලද්දේ එම වෙරළ තීරයේ මරා දමන ලද දහස් ගණනක් පිළිබඳ මතකය දරන යුද පීඩිත දෙමළ ධීවරයන් පිරිසක් විසිනි.
පසුව හමුදා භාරයට ගන්නා ලද ඔවුන් අධිකරණ නියෝගයෙන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරවාරයේ බලධාරීන් විසින් මේතාක් හෙළිදරවු නොකළ කවර හෝ 'ඉහල' මැදිහත් වීමකින් මුලතිවු ගුවන් හමුදා කඳවුර වෙත හරවා යවන ලදී. එදින සිට මේ දක්වාම ඔවුන් බාහිර සමාජයෙන් දුරස් කොට සන්නද්ධ සෙබළුන් යටතේ රඳවා තබා ගෙන සිටිනු ලැබේ. ඉල්ලීම් කීපයක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඔවුන් මුල්වරට හමුවීමට අවසර ලැබුනේ 2025 ජනවාරි 9 දාය.
ගුවන් කඳවුරට යොමු කරන විට කුඩා දරුවන් 57 දෙනෙකු ද ඇතුළුව 116 දෙනකු සිටි අතර, පසුව අලුත් උපන් බිළිඳුන් කිහිප දෙනකු ද මෙම සරණාගත පිරිසට එකතු වී තිබේ. විශ්වාස කටයුතු තොරතුරු අනුව පසුගිය වසරේ අග භාගයේ දී සරණාගත පිරිස අතර සිටි බාලවයස්කාර දැරියක් විසින් බිළිදෙකු ප්‍රසුත කර ඇති අතර ඉතා ඛේදණීය කරුණ වන්නේ ශ්‍රි ලංකාවේ රාජ්‍ය බලධාරීන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර එම මාතෘ දැරිය තවදුරටත් ගුවන් කඳවුරේම රඳවා තැබීමම ය.
සරණාගතයන්ගේ අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය සමගින් සහයෝගයෙන් කටයුතු කරන්නට තමන් කැමැත්තෙන් සිටින බව සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාප කාර්යාලයෙන් අප වෙත එවා ඇති පිළිතුරේ දක්වා තිබේ.
"ඔවුන් රැඳවුමෙන් නිදහස් කළ කල්හි, ඔවුන්ගේ මානුෂික අවශ්‍යතා වලට සහාය දීම සඳහා ශ්‍රි ලංකාවේ කොටස්කරුවන් සමඟ UNHCR සම්බන්ධිකරණය සිදුකරනු ඇත.
නමුත් ආචාර්ය ගෙහාන් ගුණතිලක පවසන්නේ සරණාගත පිරිස කඳවුරෙන් මුදාහරින තුරු බලා නොසිට අවශ්‍ය ප්‍රවේශ ලබා ගනිමින් මානවීය සහන සේවා කඩිනමින් ලබා දිය යුතුව ඇති බවයි.
මානුෂිය අර්බුදයක්
"මේ අය සරණාගතයන්ද නැද්ද කියන එක හරියටම තීරණය කරලා කියන්න පුලුවන් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට විතරයි. ඒ අයට ප්‍රවේශය නොලැබුණා කියලා පැත්තකට වෙලා ඉන්න බෑ. මේක කඩිනමින් විසඳන්න ඕනේ මානුෂීය අර්බුදයක්.කොමිසම විදිහට අපිත් කීහිප විටක්ම UNHCR එකට වගේම ආණ්ඩුවටත්, රජයේ අනෙක් වගකිව යුතු ආයතනවලටත් මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. නමුත් කවුරුත් ඒක සැලකිල්ලට ගන්නේ නෑ," යනුවෙන් කී ආචාර්ය ගුණතිලක අවධාරණයෙන් පවසා සිටියේ රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් අනුගමනය කරන රාජ්‍ය ප්‍රතිපත්තිය මත මේ සියල්ල සිදුවෙමින් තිබෙන බවයි.
" මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය ප්‍රතිපත්ති පිළිබඳ දෙයක්. ගොඩක් දෙනෙක්ගේ මතය තමයි අපි මේ අයට සැලකුම් කළොත් තවත් රොහින්ග්‍යාවරුන් මෙහෙට එයි කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. අනෙක දැන් අපි බලන්න ඕනේ එන්න ඉන්න අය ගැන නෙමෙයි ඇවිත් ඉන්න අයට සහන සලසන්නේ කොහොමද කියන එක,” යි හෙතම පැවසීය.
ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින පිරිස අතරින් වැඩි දෙනකු බාල වයස්කාර දරුවන්, ළදරුවන් සහ කාන්තාවන් ද වන විට ඔවුන් සම්බන්ධයෙන් රජය මෙයට වඩා වගකීම් සහගතව සහ මානුෂීය මුහුණුවරකින් යුතුව ජාත්‍යන්තර මානුෂිය නීතිවලට ගරු කරමින් කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ආචාර්ය ගෙහාන් ගුණතිලක විසින් දැඩිව අවධාරණය කරනු ලබන්නේ ළමුන්ගේ අයිවාසිකම් නොතකා හැර කටයුතු කරන්නට කිසිදු නෛතික හිමිකමක් ශ්‍රී ලංකාව සතු නොවන බවයි.
"රාජ්‍යයක් විදිහට අපි බැඳිලා ඉන්නවා ජාත්‍යන්තර සම්මුති නීති රීතිවලට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම ළමුන් සම්බන්ධයෙන්. ළමුන් සම්බන්ධයෙන් මුළු ලෝකෙටම තියෙන්නේ පොදු නීතියක්. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුති පනත ( ICCPR) යටතේත් අපි බැඳිලා ඉන්නවා ළමුන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න. ඒ විතරක් නෙමෙයි අපේ රටේ නීතිය යටතේ පවා ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ළමුන් සම්බධයෙන් තීරණ ගැනීමේදි ළමුන්ගේ සුබ සාධනයට ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා," යි ඉතා කනස්සලු ස්වභාවයෙන් කියා සිටි ආචාර්ය ගුණතිලක වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රි ලංකාවේ බොහොමයක් රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවකි.
රටක ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නීති බල පැවැත්වෙන්නේ එම රටේ ළමුන් සම්බන්ධයෙන් පමණක් නොවේ යැයි තර්ක කරන ආචාර්ය ගුණතිලක ප්‍රශ්න කරනුයේ එය එසේ නම් රොහින්ග්‍යා දරුවන් මුස්ලිම් රොහින්ග්‍යා වූ විට වෙනස් කොට සලකන්නේ කෙසේද යන වගයි.
ළමා හිමිකම් නොතකන ශ්‍රි ලංකාවේ රාජ්‍ය බලධාරින්
මානව හිමිකම් කොමිසම මේ තත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිස් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද ඇතුළු ළමුන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින ආයතනවල ඉහළ නිලධාරින් කිහිප විටක්ම දැනුවත් කරමින් ලිඛිතව ද කරුණු ඉදිරිපත් කළ බව ආචාර්ය ගෙහාන් ගුණතිලක පැවසීය.
මුලතිව් කඳවුරේ සිරකොට සිටින දරුවන් පිළිබඳව අප විසින් කරන ලද විමසීමේදී UNHCR ආසියානු ශාන්තිකර කලාපීය ප්‍රකාශිකා මරීකෝ හෝල් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් විමසන ලෙසය.
වසරකට වැඩි කාලයක් රඳවා සිටින දරුවන්ගේ සුබ සාධනය, ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන්ම ඒ යටතේ ඇති කාර්යාංශය ද විසින් කවර නම් මැදිහත් වීමක් කරනු ලබන්නේ දැයි විමසීමට ගෙවුණු වසරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම දුරකතනය ඔස්සේ කරන ලද පල නොලද උත්සාහයන්ට සේම මෙවරද අදාල නිලධාරීන්ගෙන් කිසිදු පිළිතුරක් ලැබුනේ නැත.
(සටහන | කේ. විජේසිංහ)
නිදහස් මාධ්‍යවේදී




