පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, සැකකාර නිලධාරීන් පිරිස ගම්පහ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අද (25) පස්වරුවේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් කොටදෙණියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඊයේ (24) ඇතුළත්ව තිබුණි.
ඒ, දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් තමන් ලුහුබැඳ පැමිණි පොලිස් කණ්ඩායමක් පහරදුන් බව පවසමිනි.
ඒ අනුව මීගමුව රෝහලේ 7 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියතුමන්ගේ සුවදුක් විමසීමට ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් මීගමුව රෝහලට අද පැමිණියහ.
මෙම සිද්ධියට අදාළව සැකපිට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගත්තේය.
ඒ එම විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.




