The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපතිවරයා ‘බුද්ධාගමට නැමෙන’ නායකයෙක්

T

The Leader Desk

January 26, 2026 • 4:54 PM

 ජනාධිපතිවරයා ‘බුද්ධාගමට නැමෙන’ නායකයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනෙකුත් ආගමිකයන්ගේ හැඟීම්වලට ගරු නොකරන තත්වයක් පෙන්නුම් කරන බව ජ්‍යෙෂ්ට දෙමළ ජනතා නායකයකු සදහන් කර තිබේ.
  • "ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරයා ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන බවට මතයක් ඉදිරිපත් වූ විට, එවැනි චින්තනයක් ඔහුට නොතිබිය හැකි බව මම පවා පවසා සිටියා.
  • නමුත් ජනාධිපති වූ පසුව ඔහුටද විවිධ බලපෑම් ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා." ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්.
  • ඒ සුමන්තිරන් 2026 ජනවාරි 20 වැනිදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මතබේදයට තුඩුදී ඇති ත්‍රිකුණාමලය බුදු පිළිමය සම්බන්ධ ගැටලුවේදී, විධායකය කටයුතු කළ ආකාරය මගින් ඒ බව පෙන්නුම් කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනෙකුත් ආගමිකයන්ගේ හැඟීම්වලට ගරු නොකරන තත්වයක් පෙන්නුම් කරන බව ජ්‍යෙෂ්ට දෙමළ ජනතා නායකයකු සදහන් කර තිබේ.

"ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරයා ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන බවට මතයක් ඉදිරිපත් වූ විට, එවැනි චින්තනයක් ඔහුට නොතිබිය හැකි බව මම පවා පවසා සිටියා. නමුත් ජනාධිපති වූ පසුව ඔහුටද විවිධ බලපෑම් ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා."

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් 2026  ජනවාරි 20 වැනිදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මතබේදයට තුඩුදී ඇති ත්‍රිකුණාමලය බුදු පිළිමය සම්බන්ධ ගැටලුවේදී, විධායකය කටයුතු කළ ආකාරය මගින් ඒ බව පෙන්නුම් කළ බවයි.


"විශේෂයෙන්ම ත්‍රිකුණාමලය බුදු පිළිමය සම්බන්ධ ගැටලුවේදී, එම පිළිමය එතැන නොතැබිය යුතු බව පවසා පොලිසිය මුලින්ම එය ඉවත් කර, පසුව ආරක්ෂාව සඳහා ඉවත් කළ බව පවසා පොලිසියම නැවතත් එම පිළිමය එතැන තැබීමට කටයුතු කිරීම මෙම රජයේ ක්‍රියාවක්. දැන් උසාවිය වෙනත් පියවරක් ගෙන තිබෙනවා, එය වෙනම කරුණක්. නමුත් විධායකය එලෙස බෞද්ධාගමට නම්‍යශීලී වී අනෙකුත් ආගමිකයන්ගේ හැඟීම්වලට ගරු නොකර කටයුතු කළ අවස්ථාවක් එය."


ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමට එරෙහිව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුවක චුදිතයන් වන බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනකු ජනවාරි 28 දක්වා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා වන “ රටම එකට - ජාතික මෙහෙයුම” උතුරු පළාත් වැඩසටහන සහභාගී වෙමින්  ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 16 වැනිදා ස්ථාන නාමය සදහන් නොකරමින් පවසා තිබුනේ උතුරේ සිද්ධස්ථානයක් වටා ජාතිවාදය පදනම් කරගනිමින් පිරිස් එක් රැස්  වන බවයි.

යුද හමුදාවේ අනුග්‍රහයෙන් කන්කසන්තුරේ තයියිට්ටිහි දෙමළ ජනයා සතු ඉඩම්වල අනවසරයෙන් ඉදිකර ඇති තිස්ස විහාරය ඉවත් කරණ ලෙස ඉල්ලා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) සහභාගිත්වයෙන් ඉඩම් හිමියන් සෑම පුර පෝදාකම පවත්වන විරෝධතාවට විසඳුම් නොලැබී දැනට අවුරුදු දෙකකට වැඩි කලක් ගතවී ඇත.

"සෑම පෝයකටම ඇවිල්ලා ඒ පන්සල ගාව වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙමෙයි ජාතිවාදය වෙනුවෙන්. මා අපේ බුද්ධි අංශ වලට කිව්වා හොයලා බලන්න කියලා ඒ හැම පෝයටම ඇවිල්ලා එතන කෑ ගහන අය කාගේ හරි ඉඩමක් එතන තියනවාද කියලා. ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල යළි ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා."


විරෝධතාකරුවන් ජාතිවාදීන් ලෙස හෙලා දකින එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ජනවාරි 20 වැනිදා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන්ගෙන් විමසු විටදී ඔහු අවධාරණය කර තිබුනේ බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ දියත් කළ යුත්තේ ඉඩම් හිමියන් පමණක්ම නොවන බවයි.


 "එතැන ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් ඉඩම් හිමියන් නොවන බවත්, ඔවුන් කවුදැයි විමර්ශනය කර දැනගැනීම සඳහා සී.අයි.ඩී. (CID) එක යොදවා ඇති බවත් ඔහු පවසා තිබෙනවා. මෙය ඉතාමත් නරක ක්‍රියාවක්. ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ යුත්තේ ඉඩම් හිමියන් පමණක්ද? දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. හමුදාව දීර්ඝ කාලයක් තිස්සේ එහි රැඳී සිටිනවා. ඒවා නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට ඕනෑම අයකුට අයිතියක් තිබෙනවා. "

භුමියේ අයිතිය ඉල්ලා විරෝධතා දියත් කරන දෙමළ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රජයේ බුද්ධි අංශ යොදවා ඇති ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී එම ඉඩම් මුදා හැරීමට එකඟවූ ආකාරයද හිටපු මන්ත්‍රීවරයා සිහිපත් කර දී තිබුනි.    

"ඔවුන්මයි පාර්ලිමේන්තුවේදී අප සමඟ එක්වී මේ ගැන කිහිප වතාවක්ම ඉල්ලා සිටියේ. ඔවුන් අයිතිකරුවන් නොවේ නේද? පාර්ලිමේන්තු විවාද පවතින සෑම අවස්ථාවකම, පෙර පැවති රජයන්ගෙන් අප සමඟ එක්ව ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. එබැවින් ඉඩම් හිමියන්ම පමණක් ඉල්ලා සිටිය යුතු බවට කිසිදු අනිවාර්යයක් නැහැ. එසේ ඉල්ලන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවන බව පවසා බිය ගැන්වීම තවත් නරක ක්‍රියාවක්."


රජය විසින් පසුගියදා ආරම්භ කළ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රටේ මහනායක හිමියන්ගේ මැදිහත්වීමද  ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් එම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර කළේය.

 

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන බැලුවහොත්, එහි ඇතුළත් කරුණු මොනවාද යන්න වෙනම කරුණක්. එහි අඩුපාඩු තිබේ නම් අපත් ඒ ගැන කතා කරනවා. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ මහානායක හාමුදුරුවරුන්ද? එබැවින් මෙරට පාලනය පෙර සිටි අය කළාක් මෙන් ජාතිවාදී, ආගම්වාදී සහ මහජාතිවාදී චින්තනයකින් මෙම රජය ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනෙන්නට තිබෙනවා."

තිස්ස විහාරය ‘ව්‍යාජයක්

තිස්ස රජමහා  විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.

නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් පසුගියදා සදහන් කර තිබුනේ දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවටයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරයා ‘බුද්ධාගමට නැමෙන’ නායකයෙක් | The Leader