මිය යන විට ඒ මහතා 78 වන වියේ පසු විය.
සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ලෙස ද කටයුතු කළේය.
රාගම වල්පොල උපත ලැබූ ඔහු, රාගම වල්පොල රජයේ විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයකින් අධ්‍යාපනය ලබා ඇති අතර, දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකුව සිටියදී ‘හෙළබිම’ පත්‍රයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබිණ.
හෙළ ජීවය, මිහිර සහ ටිකිරි යන ළමා පුවත්පත්වලට දායකත්වය ලබා දුන් ඔහු, ලංකාවේ ප්‍රථම ක්‍රීඩා පුවත්පත ලෙස සැලකෙන ‘ක්‍රීඩා ලෝකය’ පුවත්පතේ නිර්මාතෘවරයා සහ සංස්කාරකවරයා ද විය.
ජැක්සන් සේනාරත්න මහතා යටතේ ‘ඇත්ත’ පුවත්පතේ රාගම වාර්තාකරු ලෙස වෘත්තීය පත්‍ර කලාවට පිවිසි දයා සෝමසිරි, පසුව ජනදින, රිවිර, සිරිලක, ඇස සහ සම සමාජය යන පුවත්පත්වල කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ධූරයන් හෙබවිය.
වෘත්තීය ජීවිතය තුළ පෑගෙන ජනතාවගේ, ගොවීන්ගේ සහ කම්කරුවන්ගේ ගැටලු වෙනුවෙන් හඬ නැඟූ ඔහු, පාර්ලිමේන්තු විවාද සහ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් වාර්තා කිරීමේ සූරයකු ලෙස ද ප්‍රකටය.
මාධ්‍යවේදියකුට අමතරව දක්ෂ තරග විස්තර ප්‍රකාශකයකු වූ ඔහු, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා ලෙස ද සේවය කළේය.
දේශපාලනික වශයෙන් ද ක්‍රියාකාරී වූ ඔහු 1997 වසරේදී ජාඇල ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. වමේ නායකයන්ගේ දේශපාලන වේදිකාවක වාර්තාකරණයේ යෙදී සිටියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සිය එක් ඇසක පෙනීම අහිමි වුවද, ඔහු දිගටම සිය මාධ්‍ය මෙහෙවරේ නිරත විය.
දයා සෝමසිරි, ‘අන්න අන්න හඳහාමි’, ‘රිදී සීනුව’ සහ ‘නොසිඳෙන මතක’ ඇතුළු කෘති කිහිපයක කතෘවරයා ද වේ.
ඒ මහතා සිව් දියණියන්ගේ සහ එක් පුතකුගේ පියෙකි. දියණියන් දෙදෙනෙකු වන සමන්මලී ප්‍රියශාන්ති ප්‍රවෘත්ති කර්තෘවරියක ලෙස සහ රන්මලී මාධ්‍යවේදිනයක ලෙස ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සේවය කරති.
අංක 69/14/A, ලේක් සයිඩ් වත්ත, බටුවත්ත නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (28) බදාදා සවස 5.00ට බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.




