The Leader News
BREAKING
Top Ad
පුවත්

හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනඟනවා - ජනාධිපති

T

The Leader Desk

January 27, 2026 • 11:49 AM

හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනඟනවා - ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
  • එම ව්‍යසනය මෑත ලංකා ඉතිහාසයෙ ඇති වූ විශාලතම ස්වභාවික ව්‍යසනයයි.
  • ඒ නිසා යළි අපේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමේදී රජයක් ලෙස දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ලෙස අපි සියලු දෙනාට අභියෝගයක් තිබුණා.
  • මේ වන විට ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න ප්‍රමාණයකට විවිධාකාරයෙන් හානි සිදුව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන15කට අර්ධ හානි සිදුව තිබේ. ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.

 

WhatsApp Image 2026 01 27 at 5.05.53 PM 2
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ සම්පූර්ණ කතාව මතු පළවේ.

 

WhatsApp Image 2026 01 27 at 5.05.52 PM
ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම වෙනුවෙන් ...

අපේ රට පහුගිය කාලයේ විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එම ව්‍යසනය මෑත ලංකා ඉතිහාසයෙ ඇති වූ විශාලතම ස්වභාවික ව්‍යසනයයි. සාමාන්‍යයෙන් දෙදහසකට ආසන්න නාය යාම් වාර්තා වී තිබුණා. ඒ වගේම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දේපොළ, නිවාස, ආර්ථික අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා යළි අපේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමේදී රජයක් ලෙස දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ලෙස අපි සියලු දෙනාට අභියෝගයක් තිබුණා. මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් අද අපි එම අභියෝගය ජය ගෙන තිබෙනවා. අපි තවත් ඉදිරියට යා යුතුයි. නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දිය යුතුයි. ඒ වගේම ආර්ථික අවස්ථා යළි නිර්මාණය කර දිය යුතුයි. සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කර තිබෙනවා.

ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන සමග ජනතාවගේ ඉතා සමීප සබඳතාවක් තිබෙනවා. ජන ජීවිතය සම්පූර්ණ කිරීමට නම් එම ආගමික සිද්ධස්ථාන ඉතා හොඳින් පිළිසකර කර ජනතාවගේ ජන ජීවිතය සමග සහ සම්බන්ධය සකස් කළ යුතුයි. මේ වන විට ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න ප්‍රමාණයකට විවිධාකාරයෙන් හානි සිදුව තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ගම- පන්සල අතර තිබෙන සබඳතාව තහවුරු කිරීමට නම් මේ ආගමික සිද්ධස්ථාන යළි ස්ථාපිත කළ යුතු බවට තිර අදිටනින් අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

ග්‍රාමීය විහාරස්ථාන ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බව අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළා. එම ග්‍රාමීය විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමට වේගවත් වැඩසටහනක් ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් අපි සැලසුම් කර තිබෙනවා.

 

WhatsApp Image 2026 01 27 at 5.05.54 PM 1
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක් පිහිටුවනවා
 

ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී අපිට සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව අනුව මධ්‍යම කඳුකරය අතීතයේ පැවති ආකාරයත්, වර්තමානයේ තිබෙන ආකාරයත් මේ අන්දමට ඉදිරියට පැවතියහොත් අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබදවත් අපිට වාර්තා කර තිබෙනවා. අනාගතයේද පස් සෝදා ගොස් ගල් විතරක් මතුවන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ රොන් මඩවලින් පිරෙන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් අපි තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ සියල්ල ඒකාබද්ධ කරගත් නව අධිකාරියක් ඇති කරනවා. ඒ අනුව මේ මධ්‍යම කඳුකරය මුළුමනින්ම සුවපත් කිරීමේ වැඩසටහනකට අපි කඩිනමින් අවතීර්ණ විය යුතුයි කියා අපි තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික වටපිටාව සහ යටිතල පහසුකම් නිර්මාණය කර දීම වෙනුවෙන් අපි ඉතා වෙහෙසක් දරා කටයුතු කරනවා. අපි ඒ වෙනුවෙන් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ රුපියල් මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඉතා වැදගත්.

පළාත් මට්ටමින් කුඩා මාර්ග සංවර්ධනය සදහා පමණක් මෙම වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා සඳහා අපි මිලියන 8,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. පළාත් පාලන ආයතන තමන් උපයා ගන්නා ආදායමෙන් යම් ප්‍රමාණයක් මෙම පාරවල් සකස් කර ගැනීම සඳහා වෙන් කර තිබෙනවා. ඒ නිසා මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

WhatsApp Image 2026 01 27 at 5.05.54 PM 2
ඉතිහාසයේ පළමු වතාවට මෙම පෙබරවාරි මාසයේදී වතු ජනතාවට රුපියල් 1750ක දෛනික වැටුපක් හිමි වෙනවා

ඒ වගේම ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාවට මෙම මාසයේ වැටුප පෙබරවාරි 10 වනදා ලැබෙන විට දිනකට රුපියල් 1750ක වැටුපක් ලැබෙනවා. අපි තවත් එය වැඩි කිරීමට උත්සාහ කළ යුතුයි. නමුත් ලංකාවේ මෙය සිදු වන්නේ පළමු වතාවටයි. මෙම රුපියල් 400ක දෛනික වැටුප් වැඩවීමෙන් රුපියල් 200ක් ආණ්ඩුව දරා ගැනීමට තීරණය කළා. මොකද ඒ ආයතන, සමාගම්, මුළුමනින්ම බිඳ වට්ටවා අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපිත් දායකත්වයක් ලබා දෙමින් එම කටයුතු සිදු කළා. එය තමයි ආරම්භක පියවර. වතු ආරක්ෂා කර ගනිමින් එහි වැඩ කරන ජනතාවට අවශ්‍ය සහන ලබා දීම අපේ අපේක්ෂාව බවට පත් වුණා.

ඒ වගේම ග්‍රාමීය දිළිදුභාවය තුරන් කිරීම අපේ ප්‍රධාන අපේක්ෂාවක් වෙනවා. ඔවුන්ට අලුත් ආර්ථික අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. මේ වසරේ අපි සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් සකස් කර රුපියල් බිලියන 96ක් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

ඒ වගේම ග්‍රාමීය දුප්පත් පවුල්වලට ජීවත්වීමට සුදුසු නිවසක් නැහැ. නව නිවාස 31,000ක් ඉදිකිරීම වෙනුවෙන් අපි මෙවර අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණා. ඒ අතර දිට්වා ව්‍යසනය හමුවේ නව නිවාස 20,000ක් පමණ ඉදිකිරීමට සිදුව තිබෙනවා. ඒ නිසා මේ වසරේ නව නිවාස 51,000ක් ඉදි කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය සිදු කරන මැදිහත්වීම මත එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම එම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා.

 

WhatsApp Image 2026 01 27 at 5.05.55 PM
පළමු වසරට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා අරඹනවා

ඒ වගේම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේදී අපි අධ්‍යාපනයට පුමුඛත්වයක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. ග්‍රාමීය ජනතාව චක්‍රීය දිළිඳුභාවයෙන් මුදාගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට පෙර සිසුන් 38,000ක් පාසල් හැර යනවා. බන්ධනාගාර ගත වූවන් 74%කට ආසන්න ප්‍රමාණයක් 10 පන්තියට අධ්‍යාපනය නොලැබු අය. ඔවුන් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යාම නැවැත්විය යුතුයි. සාමන්‍ය පෙළ විභාගයෙන් පසු තවත් විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. කොටසක් අ.පො.ස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන අතර, එයින් සමත්ව පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අපේ රටේ අධ්‍යාපන මාවත එයයි.

නමුත් අපි තෝරාගෙන තිබෙන අධ්‍යාපන මාවත එය නොවෙයි. සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. දරුවා දින දෙක තුනක් එක දිගට පාසලට ආවේ නැත්නම් ඒ දරුවාට මොකද වුණේ කියලා එම නිලධාරින් සොයා බැලිය යුතුයි. එකදු දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනයකින් තොරව එළියට වැටෙන්න බැහැ. අය අපේ අපේක්ෂාවක්.

වසර 13ක අධ්‍යාපනය සම්පූර්ණ නොකර කිසිදු දරුවෙක් පාසලෙන් පිටමං නොවිය යුතුයි
 

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි වැදගත් සාධක කිහිපයක් හදුනාගෙන තිබෙනවා. විෂය නිර්දේශයන්හි පවතින පැරණිභාවය, නූතන ලෝකයේ නව දැනුම සමඟ සම්බන්ධ වීම මේ සියල්ල සමග අධ්‍යාපනයේ නව පරිවර්තනයක් අපි සැලසුම් කර තිබෙනවා. එහිදී අපි 1-5, 6-9, 9-11, 11-13 යන කාණ්ඩ 04ක් යටතේ කටයුතු කරනවා. එම කාණ්ඩ 04 තුළ අඛණ්ඩතාවයක් තිබෙනවා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව 2032 වන විට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වෙනුවෙන් එම පනත සංශෝධනය කිරීමටත්, කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පළමු වතාවට වෘත්තීය පුහුණු අධ්‍යාපනයට කෝටි 800ක් අපි වෙන් කර තිබෙනවා.

මේ අතර ඕනෑම වේලාවක මොකක් හරි කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටියා. ඔවුන් ඉතා අසත්‍ය මතයක් ගොඩනගන්න පටන් ගෙන තිබෙනවා. පාරක් ඉදි කරන විට එහෙම කළානම් අපි පාර හදනවා. එය හකුළ ගන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබද ගනු ලබන තීන්දුවක් නිසා, යම් පිරිසක් අතර සැකයක් තබා ගෙන මෙය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා දෙමාපියන්ගේ පූර්ණ විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා පොදු සමාජයේ පූර්ණ විශ්වාසයක් ඇතිව මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා ආරම්භ කරනවා. 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දමා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ දෙමාපියන් හමුවීම් සහිත විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.

ආර්ථික සංවර්ධනය මෙන්ම යහපත් මිනිස් සබඳතා සහිත සමාජයක් අවශ්‍යයි

 

WhatsApp Image 2026 01 27 at 5.05.53 PM
සහකම්පනයෙන් යුත් හොඳ පුරවැසියෙක්, ලෝකය ජයග්‍රහණය කළ හැකි පුරවැසියෙක් අපිට අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ පවුල ගොඩගත හැකි දරුවෙක් අපිට ඊට වඩා අවශ්‍යයි. තමන් ලබා ගන්නා අධ්‍යාපනයේ ප්‍රමාණය අනුව දුප්පත්භාවය තීරණය වී තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අරමුණක් වුණේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමයි.

අද සමාජයේ සියලු මිනිස් සබදතා සැලකිය යුතු ප්‍රමාණයකට බිද වැටී තිබෙනවා. යහපත් මිනිස් සබඳතා සහිත සමාජයක් අපිට අවශ්‍යයි. රාජ්‍ය නිලධාරියා සහ සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව අතර සබඳතාව, මහා සංඝරත්නය සහ දායක සභාව අතර සබඳතාව, පාසල් ගුරුවරුන් සහ දරුවන් අතර සබදතාව මේ සියලු සබඳතාවයන් ඉතාමත් විනාශකරි තත්ත්වයකට පත්ව තිබනෙවා. මෙම රට සමාජයීය වශයෙන් ගොඩනැගීමට නම් මේ සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි.  එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට පැවරී තිබෙන කාර්යභාරය ඉතා විශාලයි.

ඒ වගේම අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළ පරිදිම සමාජය සංහිඳියාවට පත් කරන සහ සමාජයට යහපත් දේ ගෙන දෙන සඟ පරපුරක් අපිට අවශයයි. සමාජයේ ගැටුම් ඇති කරන කණ්ඩායමක් නොවෙයි, සමාජය යහපත් දිසාවට යොමු කරන ආගමික සංස්ථාවන්ගේ අවශ්‍යතාව අද මතුව තිබෙනවා. අපේ මහා සංඝරත්නය ඒ වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කරමින් තිබෙනවා. උන්වහන්සේලා ඉටු කරන කාර්යභාරයට මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා.''

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි රැස්වීම ඇමතු අතර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උඩපළාත ප්‍රධාන සංඝනායක, උඩපළාත් සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී පූජ්‍ය බෝවල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

WhatsApp Image 2026 01 27 at 5.05.54 PM
සිව සිරි සෙල්වම් කුරුක්කල් විනයගර් පූජකතුමා දෙමළ ආගමික වතාවත් සිදු කළහ.

පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනඟනවා - ජනාධිපති | The Leader