ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අරමුණ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව 2032 වන විට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
පළමු වසරට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා අරඹනවා
''ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේදී අපි අධ්‍යාපනයට පුමුඛත්වයක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. ග්‍රාමීය ජනතාව චක්‍රීය දිළිඳුභාවයෙන් මුදාගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
අද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට පෙර සිසුන් 38,000ක් පාසල් හැර යනවා. බන්ධනාගාර ගත වූවන් 74%කට ආසන්න ප්‍රමාණයක් 10 පන්තියට අධ්‍යාපනය නොලැබු අය. ඔවුන් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යාම නැවැත්විය යුතුයි. සාමන්‍ය පෙළ විභාගයෙන් පසු තවත් විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. කොටසක් අ.පො.ස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන අතර, එයින් සමත්ව පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අපේ රටේ අධ්‍යාපන මාවත එයයි.
සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්...
නමුත් අපි තෝරාගෙන තිබෙන අධ්‍යාපන මාවත එය නොවෙයි. සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. දරුවා දින දෙක තුනක් එක දිගට පාසලට ආවේ නැත්නම් ඒ දරුවාට මොකද වුණේ කියලා එම නිලධාරින් සොයා බැලිය යුතුයි. එකදු දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනයකින් තොරව එළියට වැටෙන්න බැහැ. අය අපේ අපේක්ෂාවක්.
වසර 13ක අධ්‍යාපනය සම්පූර්ණ නොකර කිසිදු දරුවෙක් පාසලෙන් පිටමං නොවිය යුතුයි
ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි වැදගත් සාධක කිහිපයක් හදුනාගෙන තිබෙනවා. විෂය නිර්දේශයන්හි පවතින පැරණිභාවය, නූතන ලෝකයේ නව දැනුම සමඟ සම්බන්ධ වීම මේ සියල්ල සමග අධ්‍යාපනයේ නව පරිවර්තනයක් අපි සැලසුම් කර තිබෙනවා. එහිදී අපි 1-5, 6-9, 9-11, 11-13 යන කාණ්ඩ 04ක් යටතේ කටයුතු කරනවා. එම කාණ්ඩ 04 තුළ අඛණ්ඩතාවයක් තිබෙනවා.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව 2032 වන විට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වෙනුවෙන් එම පනත සංශෝධනය කිරීමටත්, කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පළමු වතාවට වෘත්තීය පුහුණු අධ්‍යාපනයට කෝටි 800ක් අපි වෙන් කර තිබෙනවා.
මේ අතර ඕනෑම වේලාවක මොකක් හරි කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටියා. ඔවුන් ඉතා අසත්‍ය මතයක් ගොඩනගන්න පටන් ගෙන තිබෙනවා. පාරක් ඉදි කරන විට එහෙම කළානම් අපි පාර හදනවා. එය හකුළ ගන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබද ගනු ලබන තීන්දුවක් නිසා, යම් පිරිසක් අතර සැකයක් තබා ගෙන මෙය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා දෙමාපියන්ගේ පූර්ණ විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා පොදු සමාජයේ පූර්ණ විශ්වාසයක් ඇතිව මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි.
පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා ආරම්භ කරනවා. 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දමා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ දෙමාපියන් හමුවීම් සහිත විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.'' යයි ද ජනාධිපතිවරයා පැවසිය.




