මාලිමා රජය යටතේ පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනා ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (30) රැස්වුණු නමුත් විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (31) නැවත රැස්වීමට නියමිතය.
'මාස 10 කට වැඩි කාලයක් විගණකාධිපතිවරයෙක් නෑ'
විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.
ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.
ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 10 කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මීට පෙර අවස්ථා හතරකදී නම් හතරක් යෝජනා කළ නමුත් එම නම් හතරම ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කළේය.
අද දිනයේ විගණකාධිපති ධූරය සඳහා යෝජනා කර ඇති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මියගේ නම, ජනාධිපතිවරයා විසින් මිට පෙරද ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබුන ද එය ද ප්‍රතික්ෂේප වී තිබිණ.
ව්‍යවස්ථාදායක සභාව වැඩබලන විගණකාධිපතිගේ සේවා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වූයේ ඇයි?
වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසුව වැඩබලන විගණකාධිපතිවරයා ලෙස ධර්මපාල ගම්මන්පිල පත් කෙරුණු නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, දෙවරකට වඩා සේවා දිගු ලබා දීමට විරෝධය පළ කරමිනි.
සභාවේ බහුතර සමාජිකයින්ගේ අදහස වී ඇත්තේ, ස්ථිර පදනම මත විගණකාධිපතිවරයෙකු පත් කළ යුතු ය යන්න ය.
ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වසර 31ක පමණ කාලයක් සේවය කර ඇති පළපුරුදු කම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය.
ඔහුගේ වැඩ බැලීමේ කාලය පසුගිය දෙසැම්බර් මස 6 වැනිදායින් අවසන් විය.
විගණකාධිපති තනතුර සඳහා ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස මහා නායක ස්වාමීන් වහන්සේලා, සිවිල් සංවිධාන වෘත්තියවේදීන් විවිධ තරාතිරම්වල දේශපාලඥයන් ඇතුළු පිරිස් විසින් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කෙරුණද එය ක්‍රියාත්මක නොවීය.
විගණකාධිපති තනතුරේ වගකීම් මොනවා ද?
විගණකාධිපති විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සපයනු ලබන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ, විධායකයේ සහ එහි සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් ඉටුකිරීමට මෙන් ම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම සඳහා වටිනාකමක් එකතු කිරීමට අරමුණු කරයි.
එබැවින් මෙම ස්වාධීන සමාලෝචනය සියලු ව්‍යවස්ථාපිත සහ වෙනත් නෛතික අවශ්‍යතාවන්ට උචිතබව, එකඟබව හා අනුකූලබව සහ මෙහෙයුම්වල ආර්ථිකභාවය, කාර්යක්ෂමභාවය සහ එලදායීත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.
විගණකාධිපතිගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අතර, එහි 153 ව්‍යවස්ථාවෙහි දැක්වෙන පරිදි, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධූරය දරන්නේ ය.
රෝගාතුර විම, ශාරීරික හෝ මානසික දුර්වලතාව හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමකින් අනතුරුව විගණකාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ හැකි ය.
විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු බවත්, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන බවත්, ඔහුගේ ධූර කාලය තුළ එකී වැටුප අඩු නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 153 ව්‍යවස්ථාවෙහි තවදුරටත් දක්වා ඇත.
විගණකාධිපති කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ අධීක්ෂණය යටතට නොගැනේ.




