The Leader News
BREAKING
Top Ad
පුවත්

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

February 1, 2026 • 3:55 AM

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.
  • එතුමන් මට මුළින්ම හමුවූයේ 1993 වසරේ පමණ ඔහු ජර්මනියේ සිට නැවතත් පේරාදෙණියට පැමිනි පසුවයි.
  • මමත් ධම්මිකත් (ඇමරකෝන්) මුල් වී සූරිය ගුනසේකරයන්ගේ දේශනයක් අපේ කලාගාරයේ කර තිබූ දිනයක ආචාර්ය මයිකල් සමගින් බරපතල මතවාදී ගැටුමක් ඇතිවූ ආකාරය තවමත් මතකයේ තිබෙනවා.
  • ඒ දේශනයෙන් පසුව මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇතිවු සංවාදය ඉතාමත් උද්වේගකර වූ නමුත් එතුමන් සමගින් යම් 'රංඩු වෙවී යාලු වෙවී' යන තැනකට ගෙනියන්න අපිට හැකි වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.

එතුමන් මට මුළින්ම හමුවූයේ 1993 වසරේ පමණ ඔහු ජර්මනියේ සිට නැවතත් පේරාදෙණියට පැමිනි පසුවයි. ඒ කාලයේ අපි 'ජනතා මිතුරෝ'සංවිධානය හදන්න සහ ජාතික චින්තන සංවාදය ගොඩ නගන්න පේරාදෙණියේ සෑහෙන මහන්සියක් ගනිමින් හිටියේ.  තවත් පැත්තකින් මාක්ස්වාදී දේශපාලනය සහ වාමංෂික දේශපාලනය ලෝක පරිමානයෙන් කඩාවැටෙමින් තිබුනේ. ඒ කඩා වැටීම එක්ක ජාතික චින්තන සංවාදය උඩට ගන්න අපි උත්සාහ ගන්න කාලයේ අපේ  ජාතික චින්තන සංවාදයට විරුද්ධව පෙනී සිටි ආචාර්යවරුන් කීපදෙනා අතර ආචාර්ය මයිකල් ඉදිරියෙන් ම හිටියා.

මමත් ධම්මිකත් (ඇමරකෝන්) මුල් වී සූරිය ගුනසේකරයන්ගේ දේශනයක් අපේ කලාගාරයේ කර තිබූ දිනයක ආචාර්ය මයිකල් සමගින් බරපතල මතවාදී ගැටුමක් ඇතිවූ ආකාරය තවමත් මතකයේ තිබෙනවා. ඒ දේශනයෙන් පසුව මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇතිවු සංවාදය ඉතාමත් උද්වේගකර වූ නමුත් එතුමන් සමගින් යම් 'රංඩු වෙවී යාලු වෙවී' යන තැනකට ගෙනියන්න අපිට හැකි වුනා.

චම්පික (රණවක) ලියු 'සංවර්ධනයේ තුන්වෙනියාමය' කෘතිය හරහා චම්පිකව පේරාදෙණියේ වාමාංශික විද්වතුන්ට හදුන්වා දෙන්නට අපි උත්සාහයක් ගත්තා. එහිදීත්  මයිකල් සහ සුමනසිරි (ලියනගේ) මහතුන් ඒ මතය සමගින් බරපතළ න්‍යායික ගැටුමක් ඇතිකර ගත් අතර ඒ නොඑකගතාව තියා ගනිමින් පරසර දේශපාලනයක අන්තර්ගතය පිළිබදව සාකච්ජා කිරීමට අපට හැකි වුනා.  

මේ සියල්ලටම වැඩිය ආචාර්ය මයිකල් සහ  කණ්ඩායම් අතර පරස්පරයන් ගොඩ නැගුනේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් 1994 චන්ද්‍රිකා  ආණ්ඩුව ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව සංවාදය පැමිණි අවස්ථාවේදී යි. ඒ සංවාදයේ පේරාදෙණියේ අපේ ආචාර්වරුන් ගනානාවක්ම ඒ බලය බෙදාහැරීමේ ව්‍යාපෘතියේ ඉදිරියෙන් ම සිටියා. ඒ අතර මහාචාර්ය අමරසිංහ, මහාචාර්ය කීර්වැල්ල, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ වැනි අය සමග ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාත් සිටි අතර ඒ සංවාදයන් රූපවාහිනි තුළ සහ පුවත් පත් තුළ සිදු කෙරුණු අවස්ථාවල ඔහු තමන්ගේ මතය ඉතාමත් නිශ්චිත්ව දැක්වූවා.  (ආණ්ඩුක්‍රම ප්‍රතිසංංකරන සම්බන්ධව ඒ  දිනවල අපි දැරූ සමහර ස්ථාවරයන් නිවැරදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් අපිට විරුද්ධ පැත්තේ අය දැරූ සමහර මතයන් නිවැරදි  බව මගේ දැන් පිළි ගැනීම බවත් මෙහිදී සටහන් කළ යුතුයි).

මේ සංවාදයන් අතර දිවයින පුවත් පතේ සිදුවු  කේ.එන්.ඕ. ධර්මදාස - මයිකල් ප්‍රනාන්දු විවාදය තවමත් සමහරුන් ට මතක ඇති. ඒ කාලයේ පේරාදෙණියේ අය එක දෙපාර්තමේන්තුවක අධ්‍යයන වැඩ කරමින් ජාතික සංවාදයේ ප්‍රතිවිරුද්ධ පැති නියෝජනය කිරීම සාමන්‍ය තත්වයක්. රූපවාහිනියේ හෝ පුවත් පතේ ප්‍රතිමල්ලවයන් වන අතරම senior common room එකේ මිතුරන් ලෙසින් එකට අල්ලාප සල්ලාපයේ යෙදුනු ඒ ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රබලයෙක් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු.

ඔහු දිනක් මට කියු පරිදි ඔහුගේ උපන් ගම වන්නේ මගේ  ගම් ප්‍රදේශයේ බෝපිටියේ ලබ්බල යි. පසු කාලයේ ඔහු පේරාදෙණීයේ ජිවිතයේ වැඩි කාලයක් ගත කළ අතර විශ්‍රාම ගත් පසුව තිබිරිගස්යායේ සුලෙයිමන් ටෙරස් හි පදිංචියට පැමිණියා.

2005 -2010 කාලයේ මහින්ටද රාජපක්ෂ ආණ්ඩුවට ඔහු විරුද්ධ වූ නමුත් 2010 සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නැගී සිටින්නටත් ඔහු පසුබට වුනේ නැහැ. ඒ සම්බන්ධව ඔහු සක්‍රීයව කටයුතු කළ ආකාරය සුමනසිරි ලියනගේ මහතා ඉතාමත් හොදින් දන්නවා.  

පේරාදෙණියේ සිංහල දෙපාර්තමේන්තුවේ ඒ කාලයේ සිටි දැවැන්තයන් අතර එතුමන් එක් අයෙක්. ඒ කාලයේ සිංහල දෙපාර්තමේන්තුවේ සිටි අය මතවාදවලින් වෙනස්කම් තිබෙද්දීම අනෙකාගේ දක්ෂතාවයන් අගය කරන ආකාරයේ වැදගත් ආචාරවරුන් බව කිව යුතුයි.

වසර 30 කට අධික කාලයක් අපි හොදින් දන්නා හදුනන අපේ විශ්ව විද්‍යාලයේ ආචාරවරයෙක් වූ, දේශපාලන වශයෙන් වෙනස් මත දරද්දීත් ඉතාමත් විශිෂ්ඨ මිතුරෙකු වු, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබදව සංවේගය සටහන් කරනවා.

සුභ ගමන් මයිකල් සර් !

(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...