ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිය හා ප්‍රතිපත්ති ආයතනයේ ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන් පසුගියදා යාපනයේ දී කළ විග්‍රහයකදී පෙන්වා දී තිබුනේ මෙම පනත මගින් පොලිස් නිලධාරීන්ට මහජන හමු විසුරුවා හැරීම් සදහා අසීමාන්තික බලයක් ලබා දී ඇති බවයි.
“51 වැනි වගන්තියේ මොකක්ද කියල තියෙන්නේ? පොලිස් නිලධාරියෙකුට මොකක් හරි තොරතුරක් ලැබුණොත්—පොලිසියට පේනවා නම් එතන පැහැදිලි වගේම ක්ෂණික අනතුරක් තියෙනවා කියලා, එතකොට ඔවුන්ට පුළුවන් ඕනෑම භාණ්ඩයක් ඉවත් කරන්න, වාහනයක් ඉවත් කරන්න. නෞකාවක් හෝ ගුවන් යානයක් වුණත් ඉවත් කරන්න පුළුවන්. (e) කොටස බලන්න, කිසිම තැනක රැස් වෙන්න එපා කියලා නියෝගයක් දෙන්න පොලිසියට පුළුවන්.”
ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන්
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මගින් පොලිස් නිලධාරීන්ට මෙලෙස අසීමාන්තික බලයක් ලබා දෙන්නේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය පොලිස් ආඥාපනත මගින්ද ලබා දී තිබියදී බවයි ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන් පෙන්වා දෙන්නේ.
“මම නම් හිතන්නේ මේක රැස්වීමේ නිදහසට සහ විරෝධතා පැවැත්වීමේ මූලික අයිතිවාසිකම්වලට විරුද්ධයි. එක තැනකට රැස් වුණොත් මේ ‘ත්‍රස්තවාදය’ කියන කාරණය යටතේ වරදක් වෙන්න පුළුවන් කියලා හිතලා, පොලිස් නිලධාරියෙකුට පුළුවන් මේ උපදෙස් දීලා ඒක නවත්තන්න. මේ වගන්තිය මූලික අයිතිවාසිකම් එක්ක බලනකොට සම්පූර්ණයෙන්ම—ඊළඟ එකත් බලන්න: කිසියම් රැස්වීමක් පවත්වන්න එපා කියන එක... කිසියම් රැස්වීමක් පවත්වන්න එපා... ඒ රැස්වීමකදී වරදක් වෙන්න පුළුවන් කියලා දැනුම්දීමක් කරලා ඒ රැස්වීම නවත්වන්න පොලිස් නිලධාරියෙකුට පුළුවන්. පොලිසියට මෙච්චර බලයක් දෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මොකටද මේ වගේ වැඩිපුර බලතල? දැනටමත් පොලිස් ආඥාපනතේ මේවා තියෙනවා..”
විරෝධතාවයක දී හෝ පෙළපාලියකදී ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙතැයි සාධාරණ සැකයක් මතු වුවහොත් එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තිබියදීත් රැස්වීමක් ආරම්භ කිරීමට පෙරම එය නතර කිරීමේ බලතල පොලීසියට ලබා දීමේ අරමුණ කුමක්දැයි නීතිඥවරයා යාපනයේදී ප්‍රශ්න කර තිබුනි.
“පොලිස් ආඥාපනතේ 52 වැනි වගන්තිය යටතේ මම හිතන්නේ, විරෝධතාවයක් හෝ පෙළපාලියක් යනකොට ප්‍රචණ්ඩත්වයක් ඇති වෙයි වගේ පේනවා නම් ක්‍රියාමාර්ග ගන්න දැනටමත් ඔවුන්ට බලතල දීලා තියෙනවා. ඒකත් තියෙද්දී, රැස්වීමක් තියන්න කලින්ම ඒක නවත්වන්න පොලිසියට තව බලතල දෙන්නේ ඇයි? ”
පුද්ගලයන්ගේ දුරකතන ඇමතුම් සම්බන්ධ තොරතුරු අධිකරණ නියෝගයක් නොමැතිව, අනීතික ආකාරයෙන් ලබා ගැනීමේ කටයුතු ආරක්ෂක අංශ විසින් මේ වන විටත් සිදු කරන බව සිහිපත් කරන ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මගින් එම ක්‍රියාව නීත්‍යනුකූල කිරීමට ආණ්ඩුව සුදානම් වන ආකාරයත් පෙන්වා දී තිබුනි.
“51 වැනි වගන්තිය හරිම ගැටලුසහගතයි. දැන් අපේ ෆෝන්වලට පොලිසියට ඇහුම්කන් දෙන්න පුළුවන්ද? අපේ ෆෝන් රෙකෝඩ්ස් ගන්න පුළුවන්ද? මම දන්න විදිහට නම් උසාවි නියෝගයක් නැතුව එහෙම කරන්න බැහැ. හැබැයි මෙහේ ඒක ඕන තරම් සිද්ධවෙනවා. ඩයලොග් එකේ ඉඳන් මොබිටෙල් වෙනකම්, HNB එකේ ඉඳන් මහජන බැංකුව වෙනකම් හැමෝම පොලිසිය ඇහුව ගමන් ඒවා දෙන්න සැදී පැහැදී ඉන්නවා. දැන් මේක නීතියක් ඇතුළට ගේනවා.”
ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන් අවධාරණය කරන්නේ බැංකුවක් හෝ දුරකතන සමාගමක් පුද්ගලයන්ගේ තොරතුරු අධිකරණයේ අවසරයකින් තොරව පොලීසියට ලබා දෙන්නේ නම් එම සමාගමට විරුද්ධය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් මහ ජනතාව සතු විය යුතු බවයි.
“ඔබ මේ තොරතුරු ඉල්ලනවා නම් මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් අරගෙනම කරන්න ඕනේ කියලා. මම හිතන විදිහට මේක අත්‍යවශ්‍ය දෙයක්. මොකද මින් පස්සේ අපේ ෆෝන් දත්ත හෝ බැංකු විස්තර උසාවි නියෝගයක් නැතුව බැංකුවක් හෝ මොබයිල් සමාගමක් ලබා දුන්නොත්, අපිට ඒ සමාගමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පොලිසිය ආවොත් අහන්න ඕනේ, 'උසාවි නියෝගය දෙන්න, එතකොට දෙන්නම්' කියලා.”
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ’ පාපොච්චාරණ සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණක් ද යාපනය, නීතිය හා ප්‍රතිපත්ති ආයතනයේ ආචාර්ය කුමරවඩිවේල් ගුරුපරන් එහිදී පෙන්වා දී තිබුනි.
“කලින් ASP කෙනෙකුට නොඅඩු නිලධාරියෙක් ඉදිරියේ දෙන පාපොච්චාරණ පිළිගත්තා නම්, දැන් ඒක මහේස්ත්‍රාත් ඉදිරියේ කියලා දාලා තියෙනවා. මම හිතන්නේ ඒක ප්‍රගතියක්. හැබැයි තවමත් මගේ අදහස නම්, පාපොච්චාරණ ගැන දැනට තියෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රමාණවත් කියන එකයි. සැලසුම් සහගතව ලබාගන්නා පාපොච්චාරණ අපේ රටේ සාමාන්‍ය නීතිය යටතේ පාවිච්චි කරන්න බැහැ. නීතිය තියෙන්න ඕනේ එතනයි. මේ විධිවිධානයෙන් පාපොච්චාරණයක් මහේස්ත්‍රාත් ඉදිරියේ දුන්නොත් විතරක් ඒක වලංගුයි කියලා තිබුණත්, සාමාන්‍ය නීතිය වෙන්නේ පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගත නොහැකියි (inadmissible) කියන එකයි. මොකද ඔයාලත් දන්නවා, මම ඒක කියන්නේ ඇයි කියලා ඔබත් දන්නවා. ඒ කියන්නේ ඒවා බලහත්කාරයෙන් ලබාගන්න පුළුවන් නිසයි.”
යාපනය විශ්ව විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරුයකු ලෙසද සේවය කරන ආචාර්ය ගුරුපරන් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් යාපනයේ දී කළ විග්‍රහයේ දී තව දුරටත් පෙන්වා දී තිබුනේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය ප්‍රකාශ කර, පාර්ලිමේන්තු අනුමැතිය ලබා එය දීර්ඝ කළ යුතු වීමේ දැනට ඇති ආරක්ෂිත ක්‍රමවේද ඉවත් කර , ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ නීතිය යටතේ ස්ථිර හදිසි නීති තත්වයක් ඇති කිරීමේ සුදානමක් ද පෙන්නුම් කරන බවයි.
“ඇඳිරි නීතිය දාන්න, සීමා පනවන්න හදිසි නීතිය යටතේ සාමාන්‍යයෙන් තියෙන හැම බලයක්ම මෙතන දීලා තියෙනවා. ඒ හැම එකක්ම හරිම ගැටලුසහගතයි. පාර්ලිමේන්තුවේ හදිසි නීතිය ප්‍රකාශ කරලා, පාර්ලිමේන්තු අනුමැතිය අරගෙන ඒක දීර්ඝ කරන්න ඕනේ කියන ආරක්ෂිත ක්‍රමවේද අයින් කරලා, මේ නීතිය යටතේ ස්ථිර හදිසි නීති තත්ත්වයක් ඇති කරනවා වගේ තමයි මේ වගන්ති මට පේන්නේ. මොකද හදිසි නීති තත්ත්වයක් නැති වෙලාවක මේ වගේ බලතල පොලිසියට, හමුදාවට සහ හැමෝටම දෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.”
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් අලුතින් කෙටුම්පත් කර ඇති, http://moj.gov.lk වෙබ් අඩවියේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පල කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන මතය පෙබරවාරි 28 දක්වා ඉදිරිපත් කළ හැකි බව පවසන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඉතා ඕනෑ කමින් ඒවා බලා රජයට සහාය වන ලෙස රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
"මම ජනතාවට ආරාධනා කරනවා අපි ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ජනතාවගේ අදහස් උදහස් ගැනීමට මෙහි තව සංශෝධනයන් සිදු කළ යුතු නම් ඒ කුමක්ද යන්න සම්බන්ධයෙන් අදහස් ගැනීමට මේ කාලය විවෘතව පවතිනවා. මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඉතා ඕනෑ කමින් ඒවා බලලා රජයට සහාය වෙන්න කියලා අලුත් අදහස් උදහස් ලබා දී. "
පිටු 90 කින් යුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් දැක්වීම සඳහා මුලින් මාසයක කාලයක් පමණක් වෙන් කර තිබුණත් සමාජ මාධ්‍ය ඔස්සේ නැගුණු විරෝධයෙන් අනතුරුව කාලය දිගු කොට තිබේ.
එය අවසානාත්මක වු පනතක් නොව ජනතාවගේ අදහස් උදහස් සහ සංශෝධන යෝජනා ගැනීම සදහා වු කෙටුම්පතක් වශයෙන් ජනතාව ඉදිරියේ පවතින්නක් බව විඩියෝවක් නිකුත් කරමින් අමාත්‍යවරයා තව දුරටත් අවධාරණය කර තිබුනි.




