The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රීක අර්බුදයක් මතුවෙලා ? - මව්රට අනාවරණයක් !

T

The Leader Desk

February 1, 2026 • 4:35 PM

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රීක අර්බුදයක් මතුවෙලා ?  - මව්රට අනාවරණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.
  • පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතිය දී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් 'සිනොපැක්' ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද එම පුවත් වාර්තාවෙන් කියවේ.
  • කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවේ.
  • යනාදී සිරස්තලයන්ගෙන් යුතුව එම පුවත්පතේ ''රාජ්‍ය රහස්'' තිරයේ පලවී ඇති එම අනාවරණය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.

පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතිය දී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් 'සිනොපැක්' ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද එම පුවත් වාර්තාවෙන් කියවේ.

කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවේ.

* හම්බන්තොට පිරිපහදුවත් නැවතිලා!
* මධ්‍යම අධිවේගය හදන එකත් නවත්තලා!
* සංචාරකයො එන එකත් අඩුකරලා!
* ආයෝජකයොත් පිටවෙලා!
* විදේශ ඇමැති අනුරව හමුවෙන එකත් කැන්සල් කළා!
* චීනය හිටිහැටියේ වෙනස් වුණේ ඇයි?


යනාදී සිරස්තලයන්ගෙන් යුතුව එම පුවත්පතේ ''රාජ්‍ය රහස්'' තිරයේ පලවී ඇති එම අනාවරණය මතු පළවේ.

'' දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරවාරයේදී අතරමැදි ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියද, එම ගමනේදී කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසීමට චීන විදේශ අමාත්‍යවරයා මුලින් සැලසුම් කොට තිබිණී. නමුත් අවසන් මොහොතේදී සිය සැලසුම වෙනස් කරමින් චීන විදේශ අමාත්‍යවරයා කොළඹට නොපැමිණ කටුනායක පිහිටි ‘ජෙට්වින් ලැගූන් නිගම්බෝ’ හෝටලයේ නවාතැන් ගත් අතර, ජනාධිපතිවරයා හමුවූයේද නැත.


කෙසේ වෙතත් මේ සතිය වනවිට චීන විදේශ අමාත්‍යවරයා කටුනායකට පැමිණියද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමු නොවීමට බලපෑ තවත් සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වී තිබේ. මෙහි ඇත්තම කතාව නම් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේදී පළමුවෙන්ම තීන්දු වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමටය.


නමුත් අප්‍රිකානු රටවල් හතරකට ගොස් චීන විදේශ අමාත්‍යවරයා එම සංචාරය අවසන් කරනවාත් සමගම චීනයේ බීජිංවලින් එවා තිබූ විශේෂ වාර්තාවක් චීන විදේශ අමාත්‍යවරයා අතට පත්ව තිබිණි. මෙම වාර්තාව මගින් චීන රජය සිය විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබුණේ ලංකාව සහ චීනය අතර ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වයය. මෙහිදී ඇතැම් යෝජනා ධනාත්මක ආකාරයට ක්‍රියාත්මක වන බවත්, සමහර කරුණු කිසිදු ප්‍රතිඵලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ වාර්තාවෙන් චීන විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබිණි. කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට කර තිබූ සියලු සැලසුම් කනපිට පෙරළී ගියේ බීජිංවලින් චීන විදේශ අමාත්‍යවරයාට ලැබුණු මෙම විශේෂ වාර්තාවත් සමගය.

ඒ අනුව මෙම හමුව අවලංගු වීමට බලපෑ අදාළ වාර්තාවේ තිබූ විශේෂ හේතුව කුමක්ද? එය අන් කිසිවක් නොව චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට තවමත් අවසර ලබාදීමට ලංකා ආණ්ඩුව කටයුතු නොකිරීමය. මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කළ චීන බලධාරීන් එම පර්යේෂණ නෞකා සම්බන්ධ ගැටලු පිළිබඳ මාලිමා ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමය දක්වාම චීන පර්යේෂණ නෞකා කිසිදු ගැටලුවකින් තොරව ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිය පරීක්ෂණ කටයුතු සිදුකළේය. එසේ චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන වාරයක් පාසා ඉන්දියන් සාගරයේ ඔත්තු බැලීමට චීනය කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කළද, චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට දිගින් දිගටම පැමිණීමට පියවර ගෙන තිබිණි.


මෙම තත්ත්වය වෙනස් වූයේ ගෝඨාභයගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. චීන පර්යේෂණ නෞකාවන්ට එරෙහිව ඉන්දියාව එල්ල කළ දැඩි බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන් රනිල්ගේ ආණ්ඩුව වසරක කාලසීමාවක් සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම තහනම් කළේය. මෙය චීන රජය දුටුවේ සිය අභිමානයට එල්ල කළ විශාල පහරක් ලෙසටය.


ඒ අනුව අදාළ තහනම ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් වීමත් සමග චීන පර්යේෂණ නෞකාවන්ට යළිත් ලංකා මුහුදු සිමාවට ඇතුළු වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම සඳහා වූ සාකච්ඡා ආරම්භ කිරීමට චීනය පියවර ගත්තේය. 

 
ඒ අනුව ජාතික මහජන කොංග්‍රසයේ උපසභාපති වැන්ග් ඩොන්ග්මින්ග් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය. 
 
එමෙන්ම ජනාධිපතිවරයා චීනයේ සංචාරය කළ අවස්ථාවේදී චීන ජනාධිපතිවරයාම මැදිහත්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට කටයුතු කළේය. එහිදී චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා වාචික අවසරය ලබාදුන් බවත්, ඊට අදාළ එස්.ඕ.පී. ගිවිසුම සංශෝධනය කිරීම වහාම සිදුකරන බවත් ජනාධිපතිවරයා චීනයට දැනුම් දුන් බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණ.

එම දැනුම් දීමට අනුව චීන ආයෝජන වැඩි වශයෙන් ලංකාවට ලබාදීමටත් චීන සංචාරකයන් ලක්ෂ 60ක ප්‍රමාණයක් වසරක් ඇතුළත ලංකාවට එවීමටත්, එම ප්‍රමාණයට අවශ්‍ය පහසුකම් ලංකාවේ සම්පූර්ණ කරන තෙක් ලක්ෂ 30ක සංචාරකයන් ප්‍රමාණයක් මුලින් ලංකාවට එවීමටත් චීනය සූදානම් කොට තිබිණි. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රබලයනුත් දේශපාලන වේදිකාවේ කියා සිටියේ චීනයෙන් ලැබුණු එම සහතිකය අතේ තියාගෙනය. එමෙන්ම මෑත ඉතිහාසයේ සිදුවූ ඉහළම විදේශ ආයෝජනය සිදුකරමින් ඩොලර් බිලියන 3.7ක් වටිනා තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සිනොපැක් සමාගම එකඟතාව පළකළේද ඒ අනුවය.

සිනොපැක් එකත් හබක්
නමුත් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීම සඳහා අවශ්‍ය අවසරය ලබාදීම මේ දක්වාම ප්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබීම නිසා දැන් දැන් චීනයද ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ. චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණි අතරවාරයේදී කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට සැලසුම් කොට තිබුණත් අවසන් මොහොතේදී කිසිදු දැනුම්දීමකින් තොරව එම හමුව ඒකපාර්ශ්විකව චීනය පැත්තෙන් අවලංගු කළේ එහි එක් පියවරක් ලෙසටය. 
 
මෙහි ඊළඟ පියවර වී අත්තේ චීනය මගින් ලංකාවට ලබාදුන් දැවැන්තම ව්‍යාපෘතිය වූ ඩොලර් බිලියන 3.7ක් වටිනා හම්බන්තොට සිනොපැක් පිරිපහදුව අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කොට තිබීමය.

සිනොපැක් හම්බන්තොට පිරිපහදුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයකදීම නිශ්චිත තොරතුරු කීපයක් වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. ඉන් එකක් වූයේ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය අවස්ථාවේ මෙම චීන සිනොපැක් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙසට දැඩි බලපෑමක් ජනාධිපතිවරයාට ඇමෙරිකාව පැත්තෙන් එල්ල වීමය. ඒ අවස්ථාවේදී මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වූ චූලි චන්ග් මහත්මියද ඇමෙරිකාවට පැමිණ තිබූ අතර, ඇයද මේ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ආණ්ඩුව වෙත එල්ල කිරීමට එහිදී කටයුතු කළාය.

විශේෂයෙන්ම විදේශ ඇමැති විජිත හේරත් සමග ඇමෙරිකානු බලධාරීන් පැවැත්වූ සාකච්ඡාවලදී මෙම සිනොපැක් ගිවිසුම අත්හිටුවන ලෙස විජිතට ඍජුවම දැනුම් දීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කළ බවද අපි එහිදී වාර්තා කළෙමු. නමුත් විජිත එය කළ නොහැකි එකක් බවත්, ලංකාවට ලැබුණු විශාලම ආයෝජනය එය බවත්, දැනට එහි වැඩ විශාල ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත්, ඇමෙරිකාව පවා තවමත් ලංකාවට විශාල ලෙස අයෝජන ලබාදී නොමැති බවත් එහිදී ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දී තිබූ බවද අපි මෙම තීරයේ දැනුම් දී සිටියෙමු.

ඒ අනුව සිනොපැක් සමාගම හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම දිගටම ඉදිරියට රැගෙන ආවේය.

නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බවකි. පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතියදී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් සිනොපැක් ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද කියවේ.

කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් මෙහිදී වාර්තා වන්නේ නැත. එහෙත් තවමත් චීනය එම ආයෝජනය ඉදිරියට ගෙන යාමට කටයුතු කොට ඇත්තේද නැත. ඒ අනුව මෙම චීන හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම අත්හිටුවීම සමග චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදීම ගැටගැසී ඇති බවට බොහෝ දෙනා තුළ සැකයක් මතුව ඇති බවක් දැකගන්නට තිබේ.''


සංචාරකයොත් නවතියිද?
 
මීට අමතරව තවත් එම සැකය තහවුරු වන සිදුවීමක් මීට දෙසතියකට පෙර සිදුවිය. ඒ, චීන සමාගමක් විසින් ඉදිකිරීම ආරම්භ කොට තිබූ ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවීමට හදිසියේම චීන බලධාරීන් පියවර ගෙන තිබීම හරහාය. මෙම ව්‍යාපෘතිය අම්බුලුවාව කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වෙමින් පැවැති අතර, හදිසියේම එය අත්හිටුවා අදාළ සමාගමේ ප්‍රධානීන් හදිසියේම ලංකාවෙන් පිටව ඇති බවද වාර්තා විය.

මීට අමතරව චීනය විසින් මේ වනවිට ඉතා සූක්ෂ්ම ලෙස ලංකාව මුල්කරගෙන කිසිවකුටත් නොදැනෙන තවත් ගේමක් ගසමින් සිටින බවක්ද දැකගන්නට තිබේ. ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන් මුල් කරගෙනය. අප කලින් කී පරිදි වසරක් ඇතුළත ලක්ෂ 60ක චීන සංචාරකයන් ලංකාවට එවමින් සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පැනීමට ලංකාවට අවස්ථාව ලබාදීමට චීනය කලින් ලබාදුන් පොරොන්දුව හීන්සීරුවේ ආපසු හැරවීමට චීනය තීන්දු කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ.


සාමාන්‍යයෙන් චීන සංචාරකයන් හරහා ඕනෑම රටක් ගොඩදැමීමට හෝ ඕනෑම රටක් වැට්ටවීමට විශාල බලයක් චීනය සතුව තිබේ. ඒ අනුව පසුගිය වසරේදී චීනය සිය පොරොන්දුව ඉටුකරමින් වැඩි වැඩියෙන් චීන සංචාරකයන් ලංකාවට යොමුකරවීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගියා පමණක් නොව, ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණයද විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි.

 නමුත් මේ වනවිට අපට ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ චීනය මීට පෙර ලබාදුන් පොරොන්දුව කඩකරමින් ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු කොට ඇති බවකි. තත්ත්වය එසේ නම් මේ හරහා ඉදිරියේදී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඔවුන්ද පෙන්වා දෙන්නේ චීන පර්යේෂණ නෞකාව සම්බන්ධ ප්‍රශ්නය මේ සමගද ගැටගැසී ඇති බවකි.

මධ්‍යම අධිවේගයත් නවතී
ඊළඟ ප්‍රධාන කරුණ වන්නේ චීනය භාරගත් කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමය. ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වෙද්දීත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක චීනයේ සංචාරය කරද්දීත්, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීනයේ සංචාරය කරද්දීත් චීන බලධාරීන් දී තිබූ පොරොන්දුවක් වූයේ කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අරමුදල් ලබාදීමට චීනය කටයුතු කරන බවය. බිමල් ඒ බව මීට සති කීපයකට ඉහතදී ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට පියවර ගත්තේය.

නමුත් දැන් අප වෙත ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට චීනය විසින් කොළඹ – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා දැක්වූ උනන්දුව හීන්සීරුවේ අඩුකොට ඇති බවය. එය ඉදිරියේදී නොකෙරෙන තැනට තල්ලු කිරීමට ඉඩ ඇති බවක්ද ආරංචිය.

ඒ අනුව අපට පෙනෙන්නට ඇත්තේ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා පොරොන්දු වූ පරිදි අවසර ලබා නොදීම සම්බන්ධයෙන් චීනය මේ වනවිට යම් කෝපයකට පත්ව සිටින බවය. එම කෝපය විවිධ මුහුණුවරින් ලංකාවට පෙන්වීම ආරම්භ කොට ඇති බවත්, එය ඉහළ තැනකට රැගෙන එමින් පවතින බවත්ය. පසුගිය සතිය වනවිට චීනය විසින් එකින් එක ලබාදී තිබූ බරපතළ ඉඟිවලින් ඒ බව මනාව පැහැදිලිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...