වත්මන් කතානායකට විරුද්ධව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් විසින් අල්ලස් කොමිසමට දුන් පැමිණිල්ල ගැන, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ විසින්, ලිපියක් ඔස්සේ මහලේකම්වරියගෙන් ලිඛිතව තොරතුරු විමසා ඇති බව කියා සිටි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, එලෙස කටයුතු කිරීමට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ඇති බලය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට යැවූ බව පැවසෙන ලිපිය හර්ෂණ රාජ කරුණා විසින් මෙහිදී සභාගත කළේය.


''පරීක්ෂණ කටයුතු වලට බාධා කිරීමක්''
මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මෙසේද පැවසීය
'' කතානායකතුමාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මීට දවස් දෙකකට කලින් මහලේකම්තුමියට ලිපියක් යවලා කතානායකට එරෙහි අල්ලස් පැමිණිල්ල ගැන තොරතුරු විමසනවා. සම්පූර්ණ විස්තර ඉල්ලනවා. අල්ලස් පනතට අනුව මේක බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් ඉල්ලනවා. පරීක්ෂණ කටයුතු වලට බාධා කිරීමක් මෙයා කරන්නේ. අල්ලස් කොමිසමේ කටයුතු වලට බාධා කරන්න කතානායකතුමාගේ ලේකම්ට අයිතියක් නෑ. මොන නීතිය යටතේද එහෙම කරන්නේ. කොහේ තියෙන බලයක්ද එයාට. කතානායක ඇතුළු සියලු දෙනාම රටේ නීතියට යටත්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් නැවතත් ඉල්ලීමක් කරනවා. ලිපිය මම සභාගත කරනවා.
අල්ලස් පනත අනුව පරීක්ෂණවලට බාධා කිරීම, ඒවාට අදාල ලියැ කියවිලි විනාශ කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. අධිකරණ ඇමතිතුමාත් එකඟ වෙනවා ඇති.''




