මෙරට 42 වන විගණකාධිපති ලෙස පත් කෙරුණු එල්.එස්.අයි. ජයරත්න වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේදී අද (05) පෙරවරුවේ භාර දෙනු ලැබීය.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්න මෙම තනතුරට පත් කිරීමට පසුගිය පෙබරවාරි 03 වනදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.
ඇය මෙරට විගණකාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව වීමද විශේෂත්වයකි.
මීට පෙර විගණකාධිපති ධුරයෙහි කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුවට ජාතික විගණන කාර්යාලයේ සිටි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වූ සමුදිකා ජයරත්න ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබ තිබිණි.
සමුදිකා ජයරත්න එම තනතුරට පත් කිරීමට පෙර, මාස 9කට අධික කාලයක් පුරා විගණකාධිපති ධූරය පුරප්පාඩු වී පැවතිණි.
විගණකාධිපති ධුරයට පත් වූ ජයරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ලබා ඇති අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවකි.




