පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ඔහු එබව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ,
''ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා''
'' ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස් වල බරපතළ වැරදි තිබෙනවා. මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු. විදුලිබල ඇමතිවරයා මේ සම්බන්ධ අළුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබාදී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා.
ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලඥයෙකුගේ සමාගමකින් අධික මිලට ගල් අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරකම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා.
2023දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේදී කිව්වා. විදුලි ඇමතිත් මුලින් ඔහොම කියලා, අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කලා. දැන් ඇමති කියන්නේ තමන් ටෙන්ඩර් පිරිවිතර වෙනස් නොකළ අතර 2023 ටෙන්ඩර් පිරිවිතර එලෙසම පවත්වාගෙන ආ බව. එම කරුණත් වැරදියි. 2023දී එවැනි පිරිවිතර වෙනස් කිරීමක් දකින්නට නැහැ. නමුත් ටිල්වින් සිල්වා කියන ආකාරයට 2023 ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවුණානම්, කුමාර ජයකොඩි කියන ආකාරයේ ටෙන්ඩර් පිරිවිතර 2023දී ප්‍රකාශයට පත්වුනේ කොහොමද? මේ දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි. ප්‍රධාන ලේකම්වරයා කරුණු අතින් යාවත්කල් වෙලා නෑ.
''ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි''
2023දී ටෙන්ඩර් කැඳවූවා. ටෙන්ඩරය ලැබුණේ කොරල් එනර්ජි කියන සමාගමට. ඔවුන්ට නිසි කාලයට සැපයුම් කරන්න බැරිවූ නිසා බ්ලැක් සෑන්ඩ් නම් සමාගමකට සැපයුම භාර දුන්නා.
2024දී ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශයත් වැරදියි. ටෙන්ඩර් කැඳවීමේදී අඩුම මිළගණන් ඉදිරිපත් කළ සමාගමට වඩා අඩු මිලක් පොටෙන්ෂියා නම් සමාගමක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පසුව තාක්ෂණික ඇගයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුවේත්, ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලයේත්, කැබිනට් මණ්ඩලය නීතිපතිවරයාගේත් අනුමැතිය මත මිල අඩු සමාගමෙන් ගල් අඟුරු මිලදී ගෙන තිබුණා. එම ක්‍රියාවලිය ගැන යම් සැකයක් තිබේනම් විමර්ශනයක් සිදුකර, නීතිමය පියවර ගත හැකියි. ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි.
ඇමතිවරයා අදාළ නිතිමය පිළිවෙළට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු නැති බව ජවිපෙ ලේකම්වරයා කියනවා. මේ ගැන ප්‍රශ්න රාශියක් අප මුල පටන් කිව්වා.
* ටෙන්ඩර් කැඳවීම මාස 4ක් ප්‍රමාද කළා.
* ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා.
* ටෙන්ඩර් කාලසීමාව අඩකින් අඩු කළා. ඒ සඳහා හේතුව ලෙස හදිසියක් ගැන කියා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී කිසිදු හදිසියක් නැතිව සති හයක් ප්‍රමාද කළා.
* බාල ගල් අඟුරු ගෙන්වූ විට සමාගම ආරක්ෂා කරන්න රසායනාගාර වාර්තා සැඟවූවා.
* නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූවිට ටෙන්ඩරය අවලංගු වන බව ටෙන්ඩර් ගිවිසුමේ තිබියදීත් එම ඇණවුම පවත්වාගෙන යනවා.
* ඒ අතර සමාගමට වාසි සැලසෙන සේ, රජය ගිවිසුම උල්ලංඝනය කරමින් හදිසි මිලදී ගැනීම් වලට අනුමැතිය ලබාදී තිබෙනවා.
'' මුළු ක්‍රියාවලියම සැක සහිතයි. තමන් වංචාවක් කළ බව පිළිගන්නේ නැතිනම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු නෑ. නමුත් එවැනි වංචාවක් සිදුව ඇත්දැයි ස්වාධීන විමර්ශනයක් කර, වරදක් සිදුව තිබේනම් ඇමතිවරයා ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට. මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක්.''




