අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සභාපති තම්බිරාසා සෙල්වරානි මාතාව සදහන් කරන්නේ අම්පාරේ සිට මඩකලපුව දක්වා තමන් ඇතුළු දෙමළ මව්වරුන් පෙබරවාරි 4 වැනිදා පැමිණි බස් රථය පොලිස් මුරපොළ අසලදී පොලිස් නිලදාරීන් විසින් නතර කළ මොහොතේ එයට ගොඩ වු හමුදා සාමාජිකයකු ‘ගංජා පොඩි කෑල්ලක්’ බසයේ පිටුපසට දමන ආකාරය තමන් ඇතුළු බස් රථයේ සිටි දෙමළ මව්වරුන් දුටු බවයි.
"අපේ බස් රථය අක්කරෙයිපත්තුව ප්‍රධාන පොලිස් ස්ථානය ඉදිරිපිට නතර කළා. ඊට පස්සේ, ඒ බස් එකට CID, TID, විස්සක් විතර නැග්ගා. තවත් පොලිස්, හමුදාවේ නිලධාරීන් දහ, පහලොස් දෙනෙක් විතර නැගලා රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට අරගෙන, ඔවුන්ගේ ටෙලිපෝන් උදුරාගත්තා. අපේ බස් රථයේ වැදගත් දෙයක් තියනවා කියලා බස් එක පරීක්ෂා කරා. නමුත් අපි දැක්කා, අත් කොට රෝස පාට කමිසයක් ඇදගෙන හිටපු හමුදා CID කෙනෙක් ගංජා පොඩි කෑල්ලක් බස් එකේ පිටිපස්සේ දැම්මා. ඊට පස්සේ අපි කිව්වා අපි උද්ඝෝෂණයකට යනවා අපිට යන්න දෙන්න කියලා. මෙතන ගංජා මුකුත් නෑ කියලත් කිව්වා. බස් එකේ ඇතුලේ ඉදලා ගංජා පොඩි ප්‍රමාණයක් අරගෙන පොලීසියෙන් අපිට පෙන්නුවා."

පැයකට වැඩි කාලයක් බස් රථය පරීක්ෂා කර බස්රථයේ රියදුරු, කොන්දොස්තර සහ තමන් පොලීසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කළ බව අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සභාපති තම්බිරාසා සෙල්වරානි මාතාව මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළාය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අක්කරෙයිපත්තුව ප්‍රධාන පොලිස් ස්ථානය ඉදිරිපිට දී අම්පාරේ සිට මඩකලපුව දක්වා විරෝධතාවයට සහභාගී වීමට ජනතාව පැමිනි බස් රථ තුනම නතර කළ අතර එහි සිටි 210 දෙනාම දෙමළ මව්වරුන් බවයි.
‘ගොඩනගමු ශ්‍රී ලංකා ’තේමාව යටතේ 78 වැනි රාජ්‍ය නිදහස් උත්සවය 2026 පෙබරවාරි 4 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පැවැත්වෙද්දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාවට කිසිදු යුක්තියක් හෝ ස්ථිර දේශපාලන විසදුමක් ලබා නොදෙන බව අවධාරණය කරන උතුරු නැගෙනහිර දෙපළාතේ යුද පීඩිත දෙමළ මව්වරුන් නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කිලිනොච්චියේත්, මඩකලපුවේත් විරෝධතා දියත් කළේ තමන් දීර්ඝකාලීනව පීඩා විදින ගැටළු වලට ජාත්‍යන්තර ප්‍රජාවෙන් විසදුම් ඉල්ලමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සමරනු ලබන දෙවැනි නිදහස් දින උත්සවයත් පසුගිය වසරවල මෙන්ම කළු දිනයක් ලෙස නම් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ උතුරේ දිස්ත්‍රික්ක පහේම ඥාතීන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සමග එකතුවී කිලිනොච්චියේදීත්, නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක තුනම එකතුව මඩකලපුවේදීත් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට කලු දිනයක්, උතුරු, නැගෙනහිර දෙමළ නිජ භුමියයි, අපේ අයිතිය අපිට ඕනෑ, අපේ භුමිට අපිට ඕනෑ ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතා දියත් කර තිබුනි.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටින් පෙබරවාරි 04 වැනිදා විරෝධතා පෙළපාලිය ආරම්භ කළ උතුරු පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් කිලිනොච්චිය ග්‍රීන් උද්‍යානය දක්වා ගමන් කර එම ස්ථානයේදී උද්ඝෝෂණය දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එම විරෝධතා පෙළපාලියට සහ උද්ඝෝෂණයට නායකත්වය දුන් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර තිබුනේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවලින් හමුදාව ඉවත් කරන ලෙස බල කරමින් බොහෝ විරෝධතා දියත් කළද ආණ්ඩුව විසින් එය සිදු නොකරන්නේ දෙමළ ප්‍රදේශවල සැලසුම් සහගත ජනාවාස ඉදිකිරීමට සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම අරමුණු කරගෙන බවයි.
"පසුගිය යුද්ධයේදී හමුදාවට භාර දුන් අපේ දරුවන්ට මොකද වුණේ කියලා කිසිම ආණ්ඩුවක් කවදාවත් කියලා නොතිබුණත්, අපි දිගටම අරගලය කරනවා. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට බොහෝ විරෝධතා තිබුණත්, හමුදාව දෙමළ ප්‍රදේශවල තවමත් ඉන්නවා. දෙමළ ප්‍රදේශවල සැලසුම් සහගත ජනාවාස ඉදිකිරීමට සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සඳහා තමයි හමුදාව රඳවා තබාගෙන ඉන්නේ. දෙමළ ජනතාව, ඔවුන් දෙන දේ ලබාගන්න ජාතියක් නෙමෙයි. අපේ අයිතිවාසිකම් ලබා ගන්නා තෙක් අපි දිගටම සටන් කරනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය, අපගේ අයිතිවාසිකම් ලබා දෙන තෙක් කලු දිනය තමයි. "
මඩකලපුවට රැස්වු නැගෙනහිර පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් කල්අඩි පාලම අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියෙන් මඩකලපුවේ ගාන්ධි උද්‍යානය තෙක් පැමිනිමට සැලසුම් කර තිබුනත් පොලීසිය එයට බාධා පමුණුවා තිබුනේ එම ස්ථානයේ ජාතික දින නිදහස් උත්සව පැවැත්වෙන බව දැනුම් දෙමිනි.
ඒ අනුව මඩකලපුව බස් නැවතුම්පොල දක්වා ගමන් කිරීමට පොලීසියෙන් අවසරගත් යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රමුඛ විරෝධතාකරුවන් මඩකලපුව බස් නැවතුම්පොල දක්වා විරෝධතා පෙළපාලියෙන් පැමිණ එම ස්ථානයේ විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.
කිලිනොච්චියේ මෙන්ම මඩකලපුවේදීත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් දියත් කළ විරෝධතා සදහා දෙපළාතේ දෙමළ ජනතා නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද එක්ව සිටින අයුරු පළාත් බද වාර්තාකරුවන් විඩියෝ ගත කර තිබේ.
කිලිනොච්චියේ සහ මඩකලපුවේ දියත් කළ විරෝධතාවය අවසානයේදී උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් දෙමළ ජනයා දිගින් දිගටම පීඩා විදින ප්‍රධාන ගැටළු 10 ක් වෙනුවෙන් එක්සත් ජාතන්ගේ මහ ලේකම්වරයාගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් යුක්තිය ඉල්ලා තිබුනි.

‘ගොඩනගමු ශ්‍රී ලංකා
කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුනේ ආගම් කිහිපයක් අදහන රටක් වන ශ්‍රී ලංකාවේ ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවයි.
"අපේ ශබ්දකෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා, අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය නිසා සිදු විය හැක්කේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංව විනාශ කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවත්, අපේ රටේ ජාතික සමගිය අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය ලෙස ගොඩනඟන බවත් මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කරන්න කැමතියි. "
ශක්තිමත් මානව සම්පතක් ගොඩනැඟීම, සමගිය නිර්මාණය කර ගැනීම මෙන්ම , ඒ සියලුදෙනාට නීතියේ විධානයේ ආධිපත්‍යය සමානාත්මතාවෙන් යුතුව සාධාරණව ඉටු කර ගැනීමට අවස්ථාව තිබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනි.




