The Leader News
BREAKING
Top Ad
පුවත්

අපේ රටේ ප්‍රධානතම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි - ජනාධිපති

T

The Leader Desk

February 7, 2026 • 4:01 AM

අපේ රටේ ප්‍රධානතම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි - ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීත උරුමයන් මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවද ඔහු පැවසිය.
  • දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බවත්, උතුරේ හෝ දකුණේ කිසිදු තැනක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
  • තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමිණි.
  • වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය '' සමහරු බලයට ඒමට තිබෙන එකම මාවත ලෙස ජාතිවාදය තෝරාගෙන තිබෙනවා'' අපේ දේශපාලන ඉතිහාසය තුළ සෑම දේශපාලන වේදිකාවකම ප්‍රධාන මාතෘකාව වුණේ වංචාව සහ දූෂණය පිටු දැකීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*අතීත උරුමය මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැප වී සිටිනවා
 
*හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත්  කිරීමට පමණයි : එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ
 
-ජනපති මහනුවරදී


අපේ විශාලතම ශක්තිය එකමුතුකම බවත්, අපේ රටේ ප්‍රධානම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැන බවත් සියලුදෙනා එකට එක් වීමෙන් ශක්තිමත් ලෙස රට ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

අතීත උරුමයන් මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවද ඔහු පැවසිය.

දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බවත්, උතුරේ හෝ දකුණේ කිසිදු තැනක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka'' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට ඊයේ  (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.

නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින් නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.

තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමිණි.

මේ අනුව නිවාස ඉදිකිරීම සඳහා පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ විස්සක චෙක්පත් ප්‍රදානය, අර්ධ නිවාස හානි වූ පවුල්  වෙනුවෙන් තමන් පදිංචි නිවස පිළිසකර කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනක චෙක්පත් ප්‍රදානය  සහ හානියට පත් කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා රුපියල් ලක්ෂ දෙකක චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණි.

එමෙන්ම, නියංගොඩ පිරිවෙන් දහම් පාසල පවත්වාගෙන යාම සඳහා පාසල් ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය.


630131467 1485478489615042 7754536406831484360 n

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය

'' සමහරු බලයට ඒමට තිබෙන එකම මාවත ලෙස ජාතිවාදය තෝරාගෙන තිබෙනවා''

අපේ දේශපාලන ඉතිහාසය තුළ සෑම දේශපාලන වේදිකාවකම ප්‍රධාන මාතෘකාව වුණේ වංචාව සහ දූෂණය පිටු දැකීමයි. ඒ වෙනුවෙන් හිටපු නායකයන් විවිධ පොරොන්දු ලබා දුන්නා. ඒ අනුව අපේ රටේ ආණ්ඩු පෙරළෙන විට වංචාව දුෂණය ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා. මම හිතනවා යළි අපේ රටේ දේශපාලන වේදිකාවේ වංචා, දූෂණ පිළිබඳ සටන් පාඨයක් ඇති වන්නේ නැහැ.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. මැතිවරණ කල් දැමීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මහ මඟ මරා දැමීම ගැන කථා කළා. නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ඇති වන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන් පාඨයක් නැවත ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම ආර්ථික බිඳ වැටීම ගැන දේශපාලන වේදිකාවේ දිගින් දිගටම කතා කළා. මම හිතන්නේ නැහැ නැවත අපෙන් පරිබාහිර දේශපාලන ව්‍යාපාරවලට ආර්ථිකය බිඳ වැටීම සහ දුප්පත්භාවයෙන් රට ගොඩගැනීම පිළිබඳ දේශපාලන වේදිකාවේ සටන් පාඨ ඉදිරිපත් කිරීමට ඉඩක් ලැබෙයි කියා. අපි මේ රටේ දුප්පත්භාවය තුරන් කරනවා.

ඒ වගේම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් නැහැ කියා ආණ්ඩු බිඳ වට්ටවා තිබෙනවා. අපි ඉතා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ නිසා රටට හිතකර දේශපාලන සටන් පාඨ දැන් බොහෝ අයට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට බලයට ඒමට තිබෙන එකම මාවත ලෙස ජාතිවාදය තෝරාගෙන තිබෙනවා.

මේ රට ගොඩනඟන්නේ කොහොමද කියා අපිට දැක්මක් තිබෙනවා.  ඕනෑම රටක් ගොඩනැඟීමේදී ඒ රටේ ඉතිහාසය සහ ඒ රට ගොඩනැගුණේ කෙසේද යන්න වැදගත්. ඒ රට ගොඩනැගුණු අත්තිවාරම මත තමයි ඕනෑම රටක් සංවර්ධන සැලසුම් සහ ආර්ථික උපාය මාර්ග සකස් කරන්නේ.

ඒ නිසා අපේ අතීත උරුමය මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපි කැපවී සිටිනවා. මේ මහපොළව සමඟ අක්මුල් විහිඳා ගත් සහ ඓන්ද්‍රීය සබඳතාවක් තිබෙන සමාජයක් ගොඩනැගීම මගින් තමයි අපේ ආර්ථික උපායමාර්ග සකස් කර තිබෙන්නේ. ඒ නිසා මේ බුදු දහම පිළිබඳවත්, අපේ ඉතිහාසය පිළිබඳවත් අපිට තිබෙන්නේ දේශපාලන වේදිකාවේ ගනු ලබන සටන් පාඨයක් නොවෙයි, අපේ රට ගොඩනැගුණු අතීතයත් සමඟ සබඳතා පවත්වා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.

අද දේශපාලනයක්, දැක්මක් සහ දෘෂ්ටිවාදයක් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි. අනෙක් අය ඒ ඒ මොහොතේ පැන නගින දේට මස් වැදැල්ලක් වටා රැස්වන කපුටු රැළක් වගේ හසු වන දෙය අල්ලාගෙන යනවා. හැබැයි අපි ඉතා හොඳ  දැක්මක් සමඟ කටයුතු කරමින් සිටිනවා.

දිට්වා සුළි කුණාටුවෙන් අපේ රටේ ජනතාවටත්, ආර්ථිකයකටත් විශාල බලපැමක් ඇති වුණා. මෙවැනි විශාල ව්‍යසනයක් ඇති වූ විට රට යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැහැ. විශේෂ නීතියක් අවශ්‍යයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නීති පැනවීම සඳහා අවශ්‍ය බලතල ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂක පනත තුළ විශේෂ නීති පැනවීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මෙවැනි ව්‍යසනයකදී ගොඩ ඒමට විශේෂ අධිකාරි බලය සහිත නීති අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි හදිසි නීතිය පණවනු ලැබුවේ. එහෙත් ඉතිහාසයේ හදිසි නීතිය බොහෝ විට උපයෝගී කර ගත්තේ වෘත්තීය සමිති ව්‍යාපාර අඩපණ කිරීම, මාධ්‍ය මර්දනය වැනි කටයුතු සඳහා. අපි හදිසි නීතිය ඒ වෙනුවෙන් උපයෝගි කර ගෙන නැහැ. තවමත් මෙම ගොඩනැඟීමේ ක්‍රියාවලිය අවසන් කර නැති නිසා මුලික කටයුතු සම්පූර්ණ කරගන්නා තෙක් අපි හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා.

එය කිසිසේත්ම මර්දන අවියක් ලෙස උපයෝගි කර නොගන්නා බවට මම සහතික වෙනවා. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මිලදී ගැනීමේ, ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම මෙන්ම, රාජ්‍ය නිලධාරින්ට අවශ්‍යය ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් අපි හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට කටයුතු කළා. මේ දිට්වා කුණාටුවෙන් විපතට පත් වූ, ඉතා වේගයෙන් ගොඩනැගිය යුතු ප්‍රදේශවලට අවශ්‍ය නීතිමය රැකවරණය අපි ලබා දෙනවා. එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ.

අපේ රට බිඳ වැටෙයි කියා ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් සිටිනවා. හැබැයි අපි මේ රට ගොඩනගමින් සිටින්නේ ඕනෑම ව්‍යසනයකට, ඕනෑම චලනයකට ඔරොත්තු දිය හැකි රටක් ලෙසයි. ව්‍යසනයකට ඔරොත්තු දෙන්න නම් අපි එකට එක් විය යුතුයි. අපි තනි තනිව ගත්තොත් අපේ ශක්තින් කුඩායි. හැබැයි අපි එකට එක් වුණොත් අපි තවත් ශක්තිමත් වෙනවා.

ඒ නිසා අපි අතර තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ ගැටුම් සමනය කරගෙන අපි සියලුදෙනා එකම ජාතියක් ලෙස ගොඩනැගිය යුතුයි. දීර්ඝ කාලයක අපි දුර්වල වුණේ අභ්‍යන්තරව තිබු ගැටුම් නිසා. අභ්‍යන්තර ගැටුම් අපේ ශක්තින් හීන කරනවා. කුඩා කුඩා කෙඳි එකතුවී මහා ශක්තියක් ගෙන දෙනවා වගේ රටේ සියලු ජනතාව එක් කොඩියක් යටතට එක් විය යුතුයි.

අපේ රටේ පළමු ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරනවා. අද පළමු වතාවට උතුරේ ජනතාවගේ ගෞරවයට සහ විශ්වාසයට ලංකාවේ ආණ්ඩුවක් පත්ව තිබෙනවා. හැමදාම උතුරේ සහ නැගෙනහිර ජනතාව තුළ තිබුණේ කොළඹ ආණ්ඩුව ගැන සැකයක්. අද එම සැකය දුරු වී තිබෙනවා. එය හොඳ තත්ත්වයක්. ඒ තුළ උතුරේ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරවල පැවැත්ම අහෝසි වී තිබෙනවා. භූමියෙන්, දේශ සීමාවලින් එක් වුණාට රටක් එකතු වෙන්නේ නැහැ. ඒ රට එකතු වීමට නම් ඒ රටේ ජනතාව එක්විය යුතුයි. අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන කාර්යය එයයි.

හැම කෙනෙකුටම පුළුවන් ජාතිවාදය පතුරවමින් ලේ කකියන තැනට ගෙන ඒමට. අද ඉතා කුඩා කණ්ඩායමක් විසින් සිදු කරමින් සිටින්නේ එයයි. හැබැයි අපේ රටේ සැබෑ බෞද්ධ ජනතාව එහි ගොදුරු බවට පත්වෙන්නේ නැහැ. නැවත ජාතිවාදයට උතුරේත්, දකුණේත් අපි ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ සඳහා නීති ප්‍රමාණවත් නැත්නම් තව නීති ශක්තිමත් කරන බව මම ප්‍රකාශ කරනවා.

 දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට  පත්ව ඇත්තේ ජාතිවාදයයි. ජාතිවාදයට එරෙහිව අප මේ ආරම්භ කර ඇති ගමනට අපේ මහා සංඝරත්නයේ, ආගමික නායකයන්ගේ විශාල සහායක් ලැබෙනවා. මේක තමයි සැබෑ බෞද්ධ දහම. මෛත්‍රිය, කරුණාව පෙරදැරිකරගත් දහම ගැටුමකට යොමු කිරීමට ඉඩ දෙන්න බැහැ. ඒනිසා බෞද්ධ ආගමේ සහ සියලු ආගම්ල ඇති පවුර, පදනම් සහිතව යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි පොර බඳිනවා.

මොළගොඩ රජමහා විහාරාධිපති, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහපිරිවෙනෙහි කෘත්‍යාධිකාරී අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හිමිපාණන් වහන්සේ සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ද මෙහිදී අදහස් දැක්වූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ මහජන නියෝජනයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 kandy

kandy 1

kandy 3

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...