එසේම මෙම තරගය වෙනුවෙන් ඉන්දීය රෝ ඔත්තු සේවය, ඉන්දීය ආරක්ෂක අංශද මෙන්ම ක්‍රීඩකයන්ගේ පුද්ගලික ආරක්ෂකයන්, ඉන්දීය ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹට පැමිණ තිබෙන බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
එමෙන්ම පාකිස්තානයේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ද මෙම තරගයේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹට පැමිණ තිබෙන බවද එම ආරංචි මාර්ගය සඳහන් කර සිටියි.
ආන්දෝලනාත්මක මෙන්ම දැඩි අවදානම් සහගත මෙම තරගය හේතුවෙන් තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළට හෙල්මට්, ජැකට්, ගමන් මලු හා මත්පැන් ගෙන ඒමට නොදෙන බවත් ඩ්‍රෝන උපකරණ හා ඉලෙක්ට්‍රොනික අයිතමයන්, සංගීත භාණ්ඩ ආදිය ක්‍රීඩාංගණයට කිසිදු ආකාරයකින් ගෙන යාමට නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදයකුමාර වූට්ලර් පැවසීය.
එමෙන්ම ක්‍රීඩාංගණයට ඇතුළු කරගැනීමේදී සියලු දෙනාවම දැඩි පරීක්ෂාවලට ලක්කරන බවද මෙම තරගයේදී නොසන්සුන් වුවහොත් හෝ සාමකාමී නොවුවහොත් තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.
එසේම මෙම තරගය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ඒ වෙනුවෙන් රථවාහන පොලිස් නිලධාරීන් හාරසීයක් යොදවා තිබෙන බවත් කී මාධ්‍ය ප්‍රකාශකවරයා හඳුන්වනු ලබන රථගාල්වල රථවාහන ගාල්කර ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙසද ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටී.
ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් රථගාල, සෙබස්තියන් ඇළ රථගාල, කෝවිල පාර, ඇපල්වත්ත, අඩි 100 පාර දෙපස, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රථගාල් මේ වෙනුවෙන් සූදානම් කර තිබෙන බවද තරගය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීවේය.
මෙම තරගය නැරඹීමට විදේශිකයන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගි වන බවත් ඒ හේතුවෙන් අද (15 වැනිදා) සවස 3 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සියලුම දොරටු විවෘතව තබන බවත් තරගය ආරම්භ වීමට පැය හතරකට පෙර හෝ ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
( aruna | එෆ්. අස්ලම්)




