ඒ අනුව, කිසියම් වැඩිහිටි නිවාසයක් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ නිර්දේශයකින් තොරව පවත්වා ගෙන යෑමට නොහැකි වන පරිදි නීති දැඩි කරන බව එහි අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් පැවසීය.
වැඩිහිටියන් පස් දෙනෙකුට වඩා නේවාසිකව තබා ගෙන සත්කාර සපයන ආයතන වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි විය යුතු නමුත් එලෙස ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාස සංඛ්‍යාව 136ක් පමණක් වන බව අධ්‍යක්ෂවරයා කීය.
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ ලියාපදිංචි නොවන වැඩිහිටි නිවාස, සත්කාර මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග දැනට නිශ්චිත නොවන බැවින් එම පනත සංශෝධනය කිරීමටත් ඒ අනුව යමින් වැඩිහිටි නිවාස ලියාපදිංචිය හා නියාමනය සඳහා නව රෙගුලාසි හා නියෝග නිකුත් කිරීමටත් මේ වර්ෂයේදී කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා කීවේය.
මේ වනවිට වැඩිහිටි නිවාසයක් ලියාපදිංචි කිරීම සඳහා වන මූලික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකසා ඇති බව ඔහු පැවැසීය. එහිදී වැඩිහිටි නිවාස ඉදිකිරීමේදී ප්‍රමුඛ නිර්ණායක 09ක් ඉදිරිපත් කර ඇත. එනම්,
1- ග්‍රාමීය ප්‍රදේශයක වැඩිහිටි නිවාස ඉදිකිරීමේදී අවම භූමි ප්‍රමාණය අක්කරයක් විය යුතුය. අර්ධ නාගරික හෝ නාගරික ප්‍රදේශවල ඉදිකරන්නේ නම් පර්චස් 40ට වැඩි විය යුතුය.
2- නේවාසික වැඩිහිටියන්ගේ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා මුළු භූමියෙන් 25% තිබිය යුතුය.
3- ප්‍රාදේශීය සභාවේ/ නගර සභාවේ හා නාගරික සංවර්ධන අධිකාරියෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගත යුතුය.
4- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය ලබාගත යුතුය.
5- කුලී බදු පදනම මත පවත්වා ගෙන යන්නේ නම් එම බදුකරය අවම අවුරුදු 33ක දීර්ඝ බදුකරයක් විය යුතුය.
6- වැඩිහිටි නිවාසයේ සියලු ඉදිකිරීම් “වැඩිහිටි උවටැන් නිවාස“ ප්‍රමිතිවලට අනුකූල විය යුතුය.
7- හරිත ගොඩනැඟිලි සංකල්පය අනුව නිවාස භූමියේත් ගොඩනැඟිලිවලත් සැලැස්ම සකස් කළ යුතුය.
8- හැකි සෑම අවස්ථාවකදී ම පුනර්ජනනීය විකල්ප බලශක්තීන් භාවිත කළ හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
9- දැනට පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාස වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නම් හෝ කොටස් එකතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් මඟින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය.
වැඩිහිටි තැනැත්තන් සඳහා වූ පනත සංශෝධනය කර වැඩිහිටි නිවාසවල සිදුවන ආක්‍රමිකතා වළක්වාලීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන්, පළාත් සභා, ස්වේච්ඡා සංවිධාන, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, වැඩිහිටි නිවාස පවත්වා ගෙන යන පිරිස් යන සියල්ලන්ගේම අදහස් මෙම නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා දායක කරගන්නා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් එහිදී මෙසේ ද කීය.
''සමාජ සේවාවක් කියලා එක එක විධියේ පදනම් හදාගෙන ඇතැමුන් හෙණ ගේම් ගහනවා''
“අපිට වාර්තා වුණු හැටියට වැඩිහිටි නිවාස 456ක් තියෙනවා. වාර්තා නොවුණු තවත් ඒවත් 100ක් වගේ තියෙන්න පුළුවන්. ඉතින් මේ සමස්තයේම ආසන්න වශයෙන් වැඩිහිටියන් 15,000ක් විතර ඉන්නවා. මවුවරුන් තමයි වැඩිපුර ම ඉන්නේ. මේවා සම්බන්ධ නිරන්තර පැමිණිලි එනවා. පනතේ ලියාපදිංචි කරන වැඩිහිටි නිවාස සම්බන්ධ නීති තියෙනවා.
ලියාපදිංචි කර නැත්නම් පනවන දඬුවම කුමක්ද කියන එක පැහැදිලි නැහැ. ඉතින් අපි අලුත් සංශෝධනයේදී ඒ කොටස් හරියට ඇතුළත් කරනවා. සමහර වැඩිහිටි නිවාසවලින් මිනිසුන්ගෙන් සෑහෙන සල්ලි අය කරනවා. පව් අහිංසක මිනිස්සු, සමාජ සේවාවක් කියලා එක එක විධියේ පදනම් හදාගෙන ඇතැමුන් හෙණ ගේම් ගහනවා”
(Mawbima | රවිශාන් ප්‍රනාන්දු)




