පොලොන්නරුව මහේස්ත්‍රාත් එරන්දී මිහිරානී විසින් මරණ පරික්ෂණයේ සාක්ෂි විමසීම සඳුදා (17) ආරම්භ කළ අවස්ථාවේදී තමන්ට තමන් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් නැතැයි පවසමින් පොලොන්නරුව දිසා භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයා විරෝධතාව දැක්වු බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා කියා සිටි .
වින්දිතයන්ට නීතිඥ සහාය අහිමි ද?
" මරා දැමුණු තරුණයාගේ සහ ඔහුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙනුයි මම ඉදිරිපත් වුණේ. නීතිඥවරයෙක් විදිහට ඒක මගේ වගකීමක් වගේම අයිතියක්. නමුත් ඒකට පොලොන්නරුව එස්.එස්.පී බුද්ධික මනතුංග විරෝධය දැක්වුවා. ඔහු කිවුවේ මරණකරු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මට අයිතියක් නෑ කියලයි" නීතිඥ සේනක පෙරේරා පැවසීය.
නමුත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයගේ විරෝධය නොතකමින් තමන් හට වින්දිත පාර්ශවය නියෝජනය කිරිමට මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන් බවද නීතිඥවරයා පැවසීය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මූලික සාක්ෂි විමසීමට, සාක්ෂිකරුවන් 19 දෙනකු නම් කොට ඇති අතර සඳුදා පැවති මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා පොලිසිය විසින් සාක්ෂිකරුවන් 8 දෙනකු ඉදිරිපත් කර තිබේ.
පොලිසියේ ක්‍රියාකලාපය සැක කටයුතුයි
"පොලීසිය ඊයේ ඉදිරිපත් කරපු සාක්ෂිකාරයෝ අතර ටිෂාන්ට වෙඩි තියපු පොලිස් නිලධාරියත් හිටියා. ඉදිරිපත් කරපු හැම සාක්ෂිකරුවෙක්ම සාක්ෂි දුන්නේ කිසිම අපරාධයක් නොවුණු ගානට," යනුවෙන් පැවසු නීතීඥ සේනක පෙරේරා අවධාරණනේ පවසා සිටියේ පොලීසියේ හැසිරීම අනුව, මෙම අපරාධය යටපත් කර හැරීමට ඔවුන්ට තදබල උවමනාවක් ඇති බවට සැක පල කළේය.
" පොලිසියට උවමනා වෙලා තියෙනවා අනෙක් අපරාධ වගේම මේකත් ගොඩින් වහලා දාන්න. ඒකනේ වින්දිත පාර්ශවය නියෝජනය කරන්න නීතිඥවරයකුටවත් ඉඩ නොදී බාධා කරන්නේ,” යි හෙතෙම කීය.
පොලිස් වෙඩි පහරින් මරා දැමුණු 25 හැවිරිදි ටිෂාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත එස්. කේ. ද සිල්වා විසින් ජනවාරි 13 දා නිකුත් කර ඇති වාර්තාවේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පපු කුහරයට ලේ බැසීම (Hemothorax) සහ හෘදය වස්තුව උණ්ඩයකින් තුවාල (Bullet injury to the heart) වීමයි.
සබැඳි පුවත :
පපුවට තැබු මාරාන්තික පොලිස් වෙඩිල්ලේ පරීක්ෂණ 'යට ගහන සැලසුමක්'




