The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඉතිහාසයේ කවරදාවක් නැති අන්දමට වංචාව, දූෂණය හා හොරකම රජ වෙලා' - විමල් වීරවංශ

T

The Leader Desk

February 22, 2026 • 4:04 PM

'ඉතිහාසයේ කවරදාවක් නැති අන්දමට වංචාව, දූෂණය හා හොරකම රජ වෙලා' -  විමල් වීරවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා පවුල් වාදයට එරෙහිව දේශපාලනය කළ ටිල්වින්ලා - අනුරලා අද ඩඩ්ලිලාගේ ධම්මිකලාගේ ගජමිතුරුවාදයට පාර කපනවා.
  • අවුරුදු 76 ක් මේ රට පාලනය කළ කුමාරවරුන්ට වඩා 78 වැනි අවුරුද්දේ මේ රට පාලනය කරන කුමාරවරු ආර්ථික මය වශයෙන් “ගිලන්ව සිටින මේ රට” සුවපත් කරන්නට භාරගෙන ඉතිහාසයේ කවරදාවක් නැති අන්දමට වංචාව, දූෂණය හා හොරකම රජ කරවන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ චෝදනා කරයි.
  • ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එබව කියා සිටියේ අද (22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ය.
  • ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ විදුලි බල විෂය භාර අමාත්‍යවර කුමාර ජයකොඩි මෙන්ම ජනාධිපති අනුර කුමරුද මෙම දූෂිත ගනුදෙනු වලට සෘජුවම හවුල් වී ඇති බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එදා පවුල් වාදයට එරෙහිව දේශපාලනය කළ ටිල්වින්ලා - අනුරලා අද ඩඩ්ලිලාගේ ධම්මිකලාගේ ගජමිතුරුවාදයට පාර කපනවා...
 

අවුරුදු 76 ක් මේ රට පාලනය කළ කුමාරවරුන්ට වඩා 78 වැනි අවුරුද්දේ මේ රට පාලනය කරන කුමාරවරු ආර්ථික මය වශයෙන් “ගිලන්ව සිටින මේ රට” සුවපත් කරන්නට භාරගෙන ඉතිහාසයේ කවරදාවක් නැති අන්දමට වංචාව, දූෂණය හා හොරකම රජ කරවන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ චෝදනා කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එබව කියා සිටියේ අද (22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ය.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ විදුලි බල විෂය භාර අමාත්‍යවර කුමාර ජයකොඩි මෙන්ම ජනාධිපති අනුර කුමරුද මෙම දූෂිත ගනුදෙනු වලට සෘජුවම හවුල් වී ඇති බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස “බාල ගල්අගුරු වංචාව” හඳුන්වා දිය හැකි බවයි.

 මෙම වංචාව නිසා රුපියල් කෝටි 800කට ආසන්න අලාභයක් දැනටමත් සිදුවී ඇති බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන බවත්, එය රටේ විදුලි පාරිභෝගිකයන්ගේ බරට පැටවෙන බවයි.

බාල ගල්අගුරු ගණුදෙනුව නිසා දැනට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 767ක්
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල මණ්ඩලයේ වාර්තාවකට අනුව, මෙම බාල ගල්අගුරු ගණුදෙනුව නිසා දැනට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 767ක් බව තක්සේරු කර ඇත.

“ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 800ක් කියලා විදුලිබල මණ්ඩලය දැනට තක්සේරු කරලා තියෙනවා, දැනට ගොඩබාන ලද නැව් සංඛ්‍යාවට සාපේක්ෂව,” යි වීරවංශ පැවසීය.

මෙම අලාභය ගණනය කර ඇත්තේ බාල ගල්අගුරු නිසා නියමිත විදුලි ධාරිතාවය ජනනය නොවීමෙන් සිදුවන පාඩුව පමණක් ගණනය කරමින් බව ඔහු අවධාරණය කළේය.

"අනිත් කරුණු කිසිවක් පාඩුව සඳහා සලකා බලලා නැහැ. ඒ කියන්නේ මේ බාල ගල්අගුරු නිසා පරිසරයට සිදුවෙන හානිය, නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් අලු පරිසරයට එකතු වෙන හානිය, නොරච්චෝලය අවට මිනිස්සුන්ගේ ජීවිතවලට ඒකෙන් වෙන හානිකර බලපෑම, ඊළඟට ඒ බාල ගල්අගුරු දිගින් දිගටම පාවිච්චි කිරීම නිසා අනාගතයේදී විදුලිජනනය සිදු කරන ඒ බලාගාරයට වෙන්න පුළුවන් හානිය,"

ආදී කරුණු මෙම ගණනයට ඇතුළත් නොකර ඇති බව වීරවංශ සඳහන් කළේය.

මෙම ගල්අගුරු නැව් අටකම බාල තත්ත්වයේ බවත්, පසුගිය නැව් හතරට වඩා පස්වැනි සිට අටවැනි නැව් දක්වා තවත් බාල ගල්අගුරු ගෙන ආ බවත් ඔහු කියා සිටියේය.

"පළමු නැව්වාර හතරට වඩා වැඩි පස්වෙනි නැවේ සිට අටවෙනි නැව දක්වා වූ ගල් අඟුරුවල බාල තත්ත්වය. අඩුගානේ මේක පළවෙනි දෙවෙනි නැව එනකොට මේක අනාවරණය වෙනවා. ශ්‍රී ලංකාවේ ‘ලැබ් එකෙන් එන රිපෝට් එකේ’ මේක බාල ගල්අගුරු කියලා කියවෙනවා. එතකොටවත් අඩු ගානේ ඉන්දියානු සමාගමට බල කරන්න ඕන දකුණු අප්‍රිකාවෙන් හොඳ එක අරන් වරෙන් කියලා," යි ඔහු කීය.

ආණ්ඩුව මෙම වංචාව සඟවා ගැනීමට උත්සාහ කරන බවත්, විදුලිබල කුමරු (විදුලිබල අමාත්‍යවරයා), ජනාධිපති කුමරු (ජනාධිපතිවරයා) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන තිදෙනා මෙහි සම්බන්ධ බවත් ඔහු චෝදනා කළේය.

"දිනනතුරු සිල්වා ඒ නිසා තමයි පාදයක් ඉදිරියට තියලා විදුලි බල ඇමතිව රැක්කේ.... නෑ ගල් අඟුරු බාල වුනාට ඇමති බාල නෑ... එයා ඉන්න ඕනේ කියලා," යි වීරවංශ පැවසීය.

MAS හෝල්ඩිංග්ස් වැනි සමාගම් කර්මාන්තශාලා වසා දමමින්...

මෙම වංචාවේ ප්‍රතිඵලයක් ලෙස රටේ කර්මාන්ත අංශය කඩාවැටෙමින් ඇති බවත්, MAS හෝල්ඩිංග්ස් වැනි සමාගම් කර්මාන්තශාලා වසා දමමින් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

"දැන් ඇමෙරිකානු බදුනම් දැන් ඔය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක හැමෝටම 15% වුණානේ. නමුත් ඊට වඩා මේකේ පිරිවය වැඩියි. විදුලිබල පිරිවැය වැඩියි," යි විමල් වීරවංශ කීය.

අනාගතයේදී මෙම බාල ගල්අගුරු භාවිතයෙන් නොරච්චෝල බලාගාරය අක්‍රිය වුවහොත් මාස හයකටත් වැඩි කාලයක් එය අලුත්වැඩියා කිරීමට ගතවන බවත්, එමගින් රටේ විදුලි ධාරිතාවයේ 40%ක් අහිමි වී ඩීසල් භාවිතයට යොමු වීමෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඔහු අනතුරු අඟවූය. මෙම බර අන්තිමේදී සාමාන්‍ය ජනතාව මත පැටවෙන බවත්, එයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සිදුවීම් රටේ ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් කරන බවත්, ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල දුර්වලතා පෙන්වන බවත් විපක්ෂයේ මතයයි. ආණ්ඩුව මෙම චෝදනාවලට තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

ධම්මික පෙරේරාට ගජමිතුරු සංග්‍රහ !
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තීරණවලින් රාජ්‍ය සම්පත් කොල්ලකෑමක්?

ව්‍යාපාරික ධම්මික පෙරේරා ට ආණ්ඩුව විසින් ලබාදෙන ගජමිතුරු සංග්‍රහයන් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායී අවස්ථාවන් අහිමි වී රාජ්‍ය සම්පත් කොල්ලකෑමක් සිදුවන බව ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙම මාධ්‍යය හමුවේදී අනාවරණය කළේය.

මෙම සංග්‍රහයන් ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන්ගේ සෘජු සම්බන්ධතාවයන් ඇතිව සිදුවන බවත්, එය පවුල්වාදයට සමාන ගජමිතුරු වාදයක් බවත් ඔහු අද පැවති  මාධ්‍ය සාකච්ඡාවකදී චෝදනා කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ, ධම්මික පෙරේරා ගේ ආයතනයන්හි ප්‍රධාන තනතුරු දරන්නෙකු බවත්, ඔහුගේ තීරණවලින් රාජ්‍ය සම්පත් පෞද්ගලික සමාගම්වලට හුවමාරු වන බවත් වීරවංශ තව දුරටත් පැවසිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ,  ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු බව සඳහන් කළ වීරවංශ, ඕස්ට්‍රේලියාවට ලාභදායී ගුවන් ගමන්වාරයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබාගැනීමට තිබූ අවස්ථාව “ජෙට්ස්ටාර් සමාගමට” ලබාදීම ගැන තොරතුරු අනාවරණය කළේය.

"ඕස්ට්‍රේලියාවට යනවා ලංකාවෙන් ගුවන් ‘ඩිරෙක්ට් ගුවන්යානා ශ්‍රී ලංකන් එයාලයින් දෙකක්. ඒ දෙකම ලාභදායී ගුවන් ගමන්. තව එකක් යවන්න පුළුවන්කම තියෙනවා. ඒත් ලාභදායි. මේ යෝජනාව ආවම සරත් ගනේගොඩ ප්‍රතික්ෂේප කරනවා මේක. ප්‍රතික්ෂේප කරලා මොකද කරන්නේ? ඕස්ට්‍රේලියාවේ ‘ජෙට්ස්ටා’ කියන සමාගමට දෙනවා ඒ ගමන," යි ඔහු පැවසීය.

ජෙට්ස්ටාර් සමාගමේ දේශීය නියෝජිතයා කව්ද ?

ජෙට්ස්ටාර් සමාගමේ දේශීය නියෝජිතයා ලෙස ධම්මික පෙරේරා ගේ සමාගම ක්‍රියාකරන බවත්, මෙම තීරණයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලැබිය යුතු ලාභයන් ධම්මික පෙරේරා ගේ සමාගම්වලට හුවමාරු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

තවද, ගුවන් ටිකට් විකුණුම් සහ වාණිජ්‍ය පහසුකම් සැපයීමද හේලිස් සමාගමට ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළේය.

කිංග්ස්බරි හෝටලයේ ඉඩම ..

කිංග්ස්බරි හෝටලයේ ඉඩම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තොරතුරු කිහිපයක් විමල් වීරවංශ මෙම මාධ්‍යය හමුවේදී අනාවරණය කළේය.

ධම්මික පෙරේරා ගේ සමාගමට අයත් මෙම හෝටලය සඳහා රජයේ ඉඩම අඩු කුලියකට ලබාදී ඇති බවත්, රජයේ තක්සේරුවට අනුව එම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 32.5ක් බවත් විමල් වීරවංශ පැවසීය.

"දැන් මේ 2026 මේ ප්‍රශ්නය කලින් ගත්තු තීරණය එක්ක බැඳිලා ආපු නිසා දැන් සාකච්ඡා කරනවා මොකක්ද කරන්නේ කියලා. දැන් ධම්මිකගේ සමාගම පැත්තෙන් ඒ සාකච්ඡාවට එන්නේ කවුද? ශ්‍රී ලංකේ සභාපති සරත් ගනේගොඩ එයා ශ්‍රී ලංකන් එකේ සභාපති. මේ හෝටලේ ප්‍රශ්නය මතු වුනාම ගෙවන කුලිය ගැන... කිංග්ස්බරි හෝටලේට ඉඩම වෙනුවෙන් ගෙවන කුලිය ගැන ප්‍රශ්නය මතු වුනාම ධම්මිකගේ සමාගම වෙනුවෙන් ආණ්ඩුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවට එන්නෙත් ශ්‍රී ලංකන් එකේ සභාපති සරත් ගනේගොඩ," යි ඔහු කීය.

ජනාධිපති ලේකම්ගේ බිරිඳ ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිනිය ලෙස පත්කිරීමත් මෙම සංග්‍රහයන්ට සම්බන්ධ බව ඔහු පෙන්වා දුන්නේය. ඇය ධම්මික පෙරේරා ගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගජමිතුරු සංග්‍රහයන් රටේ ආර්ථිකයට හානිකර බවත්, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ බලාපොරොත්තුවලට පටහැනි බවත් ඔහු අවධාරණය කළේය.

"ධම්මික පෙරේරලාගේ ගෙදර ගිහිල්ලා රෑට දිනනතුරු සිල්වා ඩිනර් ගන්නවා. ඒක වෙන කතාවක්. කුමාරවරුත් සමහරු දිනපතා යනවා නිතිපතා," යි ද වීරවංශ  පැවසීය.

ආණ්ඩුව මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැති අතර, මෙම සිදුවීම් රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතය පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය බව විමල් විරවංශ තවදුරටත් පැවසිය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...