“යුද්ධය අවසන් වෙලා අවුරුදු 16ක් ගත වෙලා, සාමාන්‍ය වැසියන් හෝ වෙන කවුරුවත් හෝ විසින් ආයුධ අතට අරන් වෙඩි තැබීමේ සිද්ධීන් සිද්ධ වෙලා නෑ. පොලිසිය සහ හමුදා ස්වරූපයක් ඇති රජයේ ආයතන ඇතුළේ ඉන්න පිරිස තමයි මෙහේ ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරලා තියෙන්නේ.”
නීතිඥ එස්. ඉලංගෝවන් 2026 පෙබරවාරි 22 වැනි ඉරිදා එම බරපතල චෝදනාව එල්ල කළේ යාපනයේ, කයිට්ස්හි අල්ලෙයිපිඩි මංසන්දියේදී පොලීසිය විසින් දෙසතියකට ආසන්න කාලයකට ඉහතදී වෙඩිතබා මරා දමන ලද 17 හැවිරිදි ළමයකු වෙනුවෙන් යුක්තිය ඉල්ලා යාපනය මධ්‍යම බස් නැවතුම්පොලේදී දියත් කළ උද්ඝෝෂණයට සහභාගී වෙමිනි.
පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වු සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස්ට යුක්තිය ඉල්ලා දියත් කළ විරෝධතාවයට පවුලේ ඥාතීන් මෙන්ම සිවිල් සංවිධාන ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරීන් ද සහාය පළ කර තිබුනි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය 2026 පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුනේ පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයකට වෙඩි තැබීමෙන් මියගියේ වැඩිහිටියකු බවයි.
"2026.02.10 වන දින අළුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේ දී සැකකටයුතු වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය විසින් සංඥා කළ අවස්ථාවේදී එම වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමෙන් වෑන් රථයේ ගමන් ගත් වයස අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය යන ලදි."
එහෙත් මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වේ.
බාල වයස්කාර දරුවකු වන සිය පුත්‍රයාගේ ඝාතනයට වත්මන් රජයෙන් හෝ ඉදිරියේදී පත් වීමට නියමිත රජයකින් යුක්තිය ඉටු වෙතැයි කිසිදු විශ්වාසයක් නොමැති අරුල් ෆයාස්ගේ මැණියන් වන ඇල්බිනෝ ජානකී විරෝධතාවය අතරතුරදී හැඩු කදුළින් දැඩි ලෙස කියා සිටියේ මේ රටේ දුක් විදින, දුප්පත් ජනතාවය යුක්තිය ඉටු නොවන බවයි.
“යුක්තියක් සාධාරණයක් නැතිව, අහිංසක බාල වයස්කාර දරුවෙක්ව, ජීවත්ව ඉන්න කාලෙත් ප්‍රශ්න ගොඩක් මැද හිටපු මගේ දරුවාව පණ අදිමින් ඉද්දි මරා දැම්මා. මේකට මේ රජයවත් වෙනත් රජයක්වත් යුක්තියක් ඉටු කරන්නේ නැහැ. හැමෝම උදව් කරන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි. මේ දුක් විඳින මිනිස්සුන්ට යුක්තියක් නැද්ද? දුප්පත් මම හදාගත්ත දරුවාට යුක්තියක් නැද්ද මහත්තයා? මගේ දරුවාගේ ඇඟේ දිව්වේ ලේ නෙමෙයිද? මගේ ගෙදර වුණේ මිනීමැරුමක් නෙමෙයිද මහත්තයා? ඇයි ඔවුන්ව ආරක්ෂා කරන්නේ? මගේ දරුවාට වෙඩි තියපු මිනිහව රජය මොකටද ආරක්ෂා කරන්නේ? මගේ මුළු පවුලම ජීවත් වුණේ එයා නිසා නේද මහත්තයා?”
මිය ගිය සැකකරු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇති බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව තිබුනි.
එහෙත් වෙඩි පහරින් ඝාතනය වු දරුවාගේ සිරුරේ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබු බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ නොතිබීමෙන්, ‘මියගිය සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී ඔහු අයිස් සහ හෙරොයින් භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇත,” යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පෙබරවාරි 11 වැනිදා කරන ලද නිවේදනය අභියෝගයට ලක්ව තිබේ.
විරෝධතාවය සදහා එක්ව සිටි යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිරුවරන්ගන් මහේන්ද්‍රන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පොලීසියේ මැර ක්‍රියාව සාධාරනීකරණය කිරීමට පොලිසිය ඇතුළු තවත් පාර්ශව විවිධ අයුරින් ක්‍රියා කරමින් සිටින අතර ඝාතනයට ලක් වු දරුවාගේ පවුලේ සාමාජිකයන් පොලිසියෙන් සහ රහස් පොලිසියෙන් (CID) විවිධ පීඩාවන්ට මුහුණ දෙන බවයි.
“වාහනය පදවාගෙන යන විට එය නතර නොකළ බව පවසමින් පොලිසිය ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇත. අද වන විට පොලිසිය සහ අනෙකුත් පාර්ශවයන් විවිධ අයුරින් එම ඝාතනය සාධාරණීකරණය කරමින් සිටිති. මෙය පොලිසියේ මැර ක්‍රියාවකි. මෙය පොලිසියේ ප්‍රචණ්ඩකාරී මුහුණුවර නැවත වරක් අපට පෙන්වන සිද්ධියකි. රටේ නීතිය හා සාමය සුරැකීමට සිටින පොලිසියම, එම බලය තමන්ට වාසි සහගත ලෙස භාවිතා කරමින් දුප්පත් පවුලක දරුවෙකු ඝාතනය කර ඇත. මෙය දැඩි ලෙස හෙළා දැකිය යුතු කරුණකි. ජාතික ජන බලවේගය රජය තමන් යහපාලනයක් ගෙන එන බවත්, හොඳින් කටයුතු කරන බවත් පවසමින් මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත. මෙය අප දකින්නේ නොසලකා හැරීමේ ප්‍රවණතාවයක් ලෙසයි. අදටත් ඔහුගේ පවුලේ අය පොලිසියෙන් සහ රහස් පොලිසියෙන් (CID) විවිධ පීඩාවන්ට මුහුණ දෙති. එම පීඩාවන් වහාම නතර කළ යුතුය.”
2026 පෙබරවාරි 22 වැනිදා යාපනය මධ්‍යම බස් නැවතුම්පොලේදී දියත් කළ උද්ඝෝෂණයට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ කාන්තා අංශයට නායකත්වය දෙන වාසුකි සුදාකරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දෙමළ දේශයේ සෑම මවක්ම සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස්ගේ මව මෙන් කඳුළු සලන බවයි.
“මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් උදුරාගෙන තිබෙනවා. මේ දරුවාට වයස අවුරුදු 17යි. මේ පිරිම් දරුවාව ඝාතනය කළා පමණක් නොවෙයි, ඒ සඳහා විවිධ හේතු සහ සාධාරණීකරණයන් ඉදිරිපත් කිරීමට රජයේ යාන්ත්‍රණයන් උත්සාහ කරනවා. ඇත්තටම මේ 17 හැවිරිදි දරුවා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා නම්, ඒ සඳහා වගකිවයුතු සියලු දෙනාටම දඬුවම් ලැබිය යුතුයි.මේ පවුලේ වේදනාව දෙස බලන විට, දෙමළ දේශයේ සෑම මවක්ම මේ ආකාරයෙන්ම කඳුළු සලනවා. සෑම නිවසකම මෙවැනි අකටයුතුකම් දිගින් දිගටම සිදුවෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය පතුරුවා හැර, පසුව ඒ ගැන විවිධ හේතු කියමින් නිහඬව සිටින රජයේ යාන්ත්‍රණයන්, දරුවන්ව ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරනවා.”
බාල වයස්කාර දරුවාගේ ඝාතනයට සති දෙකක් ගතවනතුරුත් ඝාතකයන් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ ඇය තව දුරටත් කියා සිටියේ සියළු ඝාතකයන්ට අඩුවම් ලබා දී උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජාතික දරුවන්, දෙමළ ජාතික කාන්තාවන් සහ දෙමළ ජාතික පවුල්වල ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.
“රජයේ උසස් නිලතල දරන සියලු දෙනාම මෙම අපරාධයට හවුල් බවයි ඇත්ත. මෙම දරුවා මියගොස් සති දෙකක් ගත වී ඇතත්, මෙතෙක් යුක්තිය ඉටු වී නැහැ හෝ ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ. මෙය ඉතාමත් කනගාටුදායකයි. ශ්‍රී ලංකා රජය මූලික මානව හිමිකම් පවා උල්ලංඝනය කර තිබෙනවා. අපරාධයක් සිදුවන විට, පළමුව රජය විසින් කරනු ලබන එම වැරදිවලට දඬුවම් ලැබිය යුතුයි. මෙම පාලනය යටතේ සිටින වගකිවයුතු සියලු දෙනාට දඬුවම් ලබා දී, උතුරු නැගෙනහිර වෙසෙන අපේ දෙමළ ජාතික දරුවන්, දෙමළ ජාතික කාන්තාවන් සහ දෙමළ ජාතික පවුල්වල ආරක්ෂාව තහවුරු කළ යුතුයි.”
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුද්‍රපසුපති මයෝදරන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත 2026 පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයාස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.

සබැඳි පුවත් :
වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ




